Independence Day: Resurgence චිත්‍රපටයේ විද්‍යාත්මක විවරණය || The Science of Independence Day: Resurgence



මේ ලිපිය මගින්  Independence Day (1996) හා Independence Day: Resurgence (2016) චිත්‍රපටවල ගම්‍ය කරන පිටසක්වල තාක්ශණය සාරාංශ ගත කිරීමට හා  හා පිටසක්වලයින්ගේ හැරිසිරීම් රටා කොතරම් විද්‍යාත්මකදැයි සොයාබැලීමට උත්සහකොට ඇත.

1996 - Independence Day පටන් ගත්ත තැන සිට


1996 ජූලි 2වැනිදා, කිලෝමීටර් 860ක් පමණ විශාල පිටසක්වල යානයක් පෘථිවිය වටා කක්ශගත වේ. මෙය විශාලත්වයෙන් අපගේ සඳහි විශාලත්වයෙන් අඩක් වූ අතර එය කිලෝමීටර් 24ක් විශාල උපයානා 36කට වෙන්වී පෘථිවියේ විශාලතම නගර ඉහලින් ස්ථානගත වේ.

පසුව හෙලිවන ආකාරයට 1947දී රොස්වෙල් වෙත කඩාවැටුනු පිටසක්වල යානාව, මෙම ජීවීන් භාවිතාකරන කුඩා ප්‍රහාරක/ඔත්තුබලන යානාවක් වන අතර එය හා එහි ගමන්ගත් පිටසක්වල ජීවීන් තිදෙනා නෙවාඩාහි Area 51 රහසිගත කඳවුරට ගෙන ගොස් ඇත.

මව් යානයටත්, උපයානාවලටත්, කුඩා ප්‍රහාරක යානාවලටත් ඕනෑම අන්දමක ප්‍රහාරයකින් ආරක්ශාවිය හැකි Force Field නම් ආරක්ශක උපක්‍රමයක් ඇති අතර යානාවලට එල්ලවන ඕනෑම ප්‍රහාරයක් මෙම Force Field හි ගැටී අකර්මණ්‍යවේ.

මෙම Force Field එක පාලණය වන්නේ යානයේ පරිගණක පද්ධතියෙන් බව වටහාගන්නා  MIT විශ්ව විද්‍යාලයේ  අතිදක්ශ ඉලෙක්ට්‍රොණික ඉන්ජිනේරුවෙකු හා පරිගණක විශේෂඥයෙකු වන ඩේවිඩ් ලෙවින්සන්, මෙම Force Field අකර්මණ්‍ය කිරීම සඳහා යානයේ පරිගණකය සුලුවේලාවකට අකර්මණ්‍ය කල හැකි පරිගණක වෛරසයක් ඒරියා 51 ඇති 1947 කඩාවැටුනු පිටසක්වල යානය ආධාරයෙන් අත්හදා බලයි.

මෙම ප්‍රහාරක යානයෙන් පරමාණු බෝම්බයක් හා පරිගණක වෛරසය රැගෙන උප යානයක් වෙත පියාසර කරන ඩේවිඩ් ලෙවින්සන් හා මැරීන් හමුදාවේ ප්‍රහාරක ජෙට් නියමු කපිතාන් ස්ටීවන් හිලර් (විල් ස්මිත්) වෛරසය උපයානයට මුදා හැර එහි හා එයට ඉලෙක්ට්‍රොණිකව සම්බන්ධව ඇති අනෙක් සියලු උපයානාවල Force Field අකර්මණ්‍ය කරදමයි. ඒ අවසරයෙන් සියලු උපයානාවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන අතර, න්‍යශ්ඨික බෝම්බයෙන් ලෙවින්සන්/හිලර් අකර්මන්‍යකල උප යානය විනාශවේ.

1996 චිත්‍රපටයෙන් අප දැනගන්නා විද්‍යාත්මක  කරුණු

1940 ගණන්වල සිටම මෙම පිටසක්වලයින් පෘථිවිය පිලිබඳව සෙවිල්ලෙන් සිට ඇත. 1947දී රොස්වෙල් වෙතට කඩා වැටුනේ මොවුන්ගේ ඔත්තුබලන/ප්‍රහාරක යානාවකි. එහි පිටසක්වලයින් තිදෙනෙකු ගමන් කොට ඇත.

1947 රොස්වෙල් වලට කඩාවැටුනු පිටසක්වලයින් තිදෙනාගෙන් දෙදෙනෙකු මිය යන අතර අනෙකා කෝමා තත්වයෙන් සිටී. මොවුන් අදාලව කරන ලද පර්යේෂණවලට අනුව ඔවුන්;

පෘථිවියේ ඇති සියලු ජීවය මෙන්ම කාබන් මූලික ජීවීන්ය

ඔක්සිජන් ආස්වාස කරති

කුඩා දුර්වල ජීවීන් වන මොවුන් මුලු ජීවිතකාලයම ජීව-යාන්ත්‍රික පිටසැකිල්ලක් තුල (bio-mechanical exoskeleton ) ජීවත්වේ.

එම සැකිල්ල ඔවුනට ඕනෑම පරිසරයක ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන්, පෝශණය, මෙවලම් හා ආයුධ භාවිතය සඳහා ශක්තිමත් හා සුනම්‍ය දෑත්, හා සංචරණය (locomotion) සඳහා පාද යුගලක් හා අවශ්‍ය යාන්ත්‍රික ශක්තිය ලබාදේ.

ඔවුන්ගේ යානා ගමන් කරන අධික වේගයන් හා ගුරුත්ව බලයන්ගෙන් (g-forces) ආරක්ශා කරන පියාසර ඇඳුමක් (flight suit) ලෙස ක්‍රියාත්මක වීමද මෙම සැකිල්ල මගින් සිදුකරයි.

4. ස්ථීර පදිංචියක් නැති (nomadic) ජීවන රටාවක් ඇති මෙම පිටසක්වල ජීවී වර්ගය විශ්වයේ සැරිසරමින් විවිධ ග්‍රහලෝකවලට පහරදී එහි ඇති ජීවය විනාශකොට, ග්‍රහලෝකයේ සියලු සම්පත් සූරාගනී. එක් ග්‍රහලොවක් විනාශකල පසු තවත් එකක් සොයමින් ගමන් කරයි.

5. ටෙලිපති (චෛතිසික) බලයෙන් සන්නිවේදනය කරන ඔවුන්ට මිනිස් මනසට ඇතුලුවී ඔවුන්ගේ සිතැඟි දැක්වීමේ හැකියාව ඇත.

2016 - Independence Day: Resurgence චිත්‍රපටයෙන් අප දැනගන්නා විද්‍යාත්මක කරුණු

Harvester Ships

මෙම පිටසක්වලයින් සතුව, පෘථිවියට 1996දී පැමිණි මව් යානාවට වඩා අතිවිශාල "harvester" නම් මව් යානා ඇත. පෘථිවියට 2016දී පැමිණෙන හාවස්ටර් යානය සැතපුම් 3000ක්, එනම් කිලොමීටර් 4800 පලල, අඟහරු ග්‍රහයාටත් වඩා විශාල (අඟහරුවා කිලෝමීටර් 3400ක් පමණ විශාලත්වයකින් යුතුය ) අති දැවැන්ත යානයකි.

Harvester Queen

මෙවැනි හාවෙස්ටර් යානයක රැජිණක් (harvester queen) ලෙස හඳුන්වන බලසම්පන්න පාලිකාවක් ඇති අතර මෙය යානය තුල සිටින ලක්ශ ගණනින් වන පිටසකවලයින් සියල්ලගේම නායිකාව ඇයවේ. මෙවැනි නායිකාවන් ගණනාවක් දැවැන්ත හාවෙස්ටර් යානාවලින් විශ්වයේ තැනින් තැන යමින් ග්‍රහලෝක තමන් සතුකරගන්නා අතර ඔවුන් සියලුදෙනාම චෛතිසිකව එකිනෙකාට සම්බන්ධව සිටී.

විශ්වයේ ජීවත්වන බොහෝ ශිෂ්ඨාචාර මොවුන් අතින් විනාශවී ඇති අතර ඔවුන් වසන්ගතයක් මෙන් විශ්වය පුරා පැතිර සිටී.

Hive Mind

හයිව් මයින්ඩ් හෙවත් මීවද මනසක් ආකාරයට මොවුන් ක්‍රියාත්මක වන අතර මීවදයක රැජින මෙන්, මෙම පිටසක්වල ජීවීන් පවතින්නේ රැජිණගේ ආරක්ශාවට හා ඇයගේ අණ ක්‍රියාත්මක කිරීමටය. ඔවුන් සියලුදෙනාම යම් රැජිණකගේ මනසට චෛතිසිකව සම්බන්ධව ඇති අතර විශ්වය පුරා පැතිර සිටින සියලුම හාවෙස්ටර් රැජිණියන් සිය මනස් මගින් එකිනෙකා හා සම්බන්ධව සිටී.

Alien Technology

ඔවුන්ගේ තාක්ෂණය අපගේ තාක්ෂණයට වඩා වසර 1000ක් වත් ඉදිරියෙන් ඇති තාක්ෂණයකි. තාරකා අතර සංචරණය (interstellar travel) ඉතා පහසුවෙන් සිදුකරති. 

අධික වේගයෙන් යන අතිවිශාල පිටසක්වල යානා ගොඩනගති. පෘථිවිය වටා ඇති අභ්‍යවකාශය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන Deep Space Network නිරීක්ෂණ පද්ධතියට හසුනොවී පෘථිවිය අසලටම පැමිණීමට මොවුන්ට හැකිවන්නේ ඔවුන් පණුසිදුරු (Wormholes / අයින්ස්ටයින්-රෝසෙන් පාලම්) ආධාරයෙන් ගමන් කරණ නිසාවිය යුතුය.

සූර්යයා තුල බළය නිපැදවෙන න්‍යෂ්ඨික විළයනය (nuclear fusion) මගින් බලය ලබාගත හැකි ෆියුෂන් එන්ජින් මගින් ඔවුන්ගේ යානා බලගැන්වේ.

ආරක්ශිත ආවරණයක් ලෙස ක්‍රියාත්මක වන Force Field නම් ආරක්ශක උපක්‍රමයක් නිර්මාණය කරගෙන ඇත.

ඔවුන්ගේ හාවෙස්ටර් යානා බලගැන්වීම සඳහා ග්‍රහලෝකවල මධ්‍යයේ ඇති "inner core" කොටස උකහා ගන්නා බව චිත්‍රපටයේ සඳහන්වේ. කෙසේ වෙතත් පෘථිවියේ "ඇතුළු මධ්‍යය" යකඩ හා නිකල් වලින් සමන්විත ඝණ ගෝලයක් බව සොයාගෙන ඇති අතර මෙය මගින් යානා බල ගැන්වෙන්නේ කෙසේදැයි පැහැදිලි නැත. නමුත් පෘථිවියට සිය ඇතුළු මධ්‍යය අහිමි වුවහොත්, එමගින් පෘථිවිය සතු චුම්බක ක්ෂේත්‍රය අහිමිවීම මගින් වායුගෝලය අහිමිවී සියලු ජීවය අවසන් විය හැකිය.

චිත්‍රපටයේ ගම්‍ය කරන පිටසක්වල තාක්ශණය හා පිටසක්වලයින්ගේ හැරිසිරීම් රටා කොතරම් විද්‍යාත්මකද?

මෙයට "ඔව්" මෙන්ම "නැත" ලෙසද පිලිතුරු සැපයිය හැකිය.

"ඔව්"

මේ පිටසක්වලයින්ගේ හැසිරීම මානව හැසිරීම හා සමානය. මානවයින්ද එකිනෙකා, විශේෂයෙන්ම බලවතුන් දුර්වලයින් යටත්කර ගැනීම, ධනය හා සම්පත් සූරාකෑම හා වහලුන් ලෙස තබාගැනීමේ හැසිරීම් පෙන්වයි. නට්සි ජර්මනියේ හිට්ලර්, මධ්‍යම අමෙරිකාවේ ඇස්ටෙක් ශිෂ්ඨාචාරය විනාශකල ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් (1500 AD), මොන්ගෝලියානු ආක්‍රමණික ජෙන්ගිස් ඛාන් (1200 AD) , නැගෙනහිර යුරෝපයේ පැතිරසිටි ප්‍රජාවක්වූ හන්වරුන් එක්සත් කොට යුරෝපයට හා රෝම අධිරාජ්‍යයට මහත් අභියෝගයක් එල්ලකල ඇටිලා (430 AD) මෙයට උදාහරණ වේ.


ඒ අනුව,  ආක්‍රමණික, මානව ආචාරධර්ම ගරු නොකරන, ඕනෑම ජීවියක් දෙවරක් නොසිතා විනාශකරන පිටසක්වල ජීව ප්‍රජාවන් සිටිය හැකිය. 

නෝබෙල් ත්‍යාගලාභී ස්ටීවන් හෝකින්ස් මෙවැනි ආක්‍රමණකාරී පිටසක්වලයින් ගැන බරපතල අණතුරු ඇඟවීමක් සිදුකොට ඇත. ඔහුට අනුව මානව වර්ගයා දැනටමත් සිය ග්‍රහලෝකය ගැන විශ්වයේ සැරිසරණ ආක්‍රමණිකයින්ට හෙලිකොට ඇත. ඒ 1900සිට නොකඩවා මුදාහැරෙන රේඩියෝ තරංග මගිනි.

මහාචාර්ය ස්ටීවන් හෝකින්ස්ට අනුව, විශ්වයේ දියුණු ශිෂ්ඨාචාරවලින් නිකුත්වන රේඩියෝ තරංග අපට හසු නොවීමට එක් හේතුවක් විය හැක්කේ ඔවුන් සිය ග්‍රහලෝක ආක්‍රමණික වසංගතකාරී පිටසක්වල ගෝත්‍රවලින් වසන් කරගැනීම සඳහා සිය ග්‍රහලෝකවලින් කෘත්‍රිම රේඩියෝ තරංග නිකුත්වීම නවතාගෙන ඇති නිසා විය හැකිය.

"නැත"

මෙම චිත්‍රපටවල දැක්වෙන ආකාරයට පිටසක්වල ආක්‍රමණකාරී ගෝත්‍ර පෘථිවියට (හා වෙනත් ලෝකවලට) යන්නේ ඒවායේ සම්පත් සූරාගැනීමට නම්, ඒ සඳහා කෝටිගණනින් ග්‍රහලෝක, චන්ද්‍රයින් හා විශාල ග්‍රහක චක්‍රවාටය පුරා ඇත . ජීවය පවතින ග්‍රහලෝක සොයාගෙන ආලෝක වර්ෂ ගණනින් සැරිසැරීමට අවශ්‍යතාවයක් තර්කාණුකූලව සිතාගත නොහැක.  

එසේ විය හැක්කේ ජීවය නෑසීම පමණක් අරමුණු කරගත් පිටසක්වල ගෝත්‍රයක් සිටීනම් පමණකි. 

1964දී සෝවියට් තාරකාවිද්‍යාඥ නිකොලායි කාඩෙෂෙෆ් නිර්මාණය කල Kardashev Scale හෙවත් කාඩෙෂෙෆ් පරිමාණයට අනුව පිටසක්වලයින්ගේ තාක්ශණික දියුණුව විවිධ කාණ්ඩවලට බෙදා වෙන්කොට ඇත. 

මෙම බෙදීම සිදුකොට ඇත්තේ එම ශිෂ්ඨාචාරය වර්ධනය කරගෙන ඇති තාක්ශණයට අනුව ඔවුන් සතු බළශක්තිය උකහාගැනීමේ හැකියාව පදනම් කරගෙනය. ඒ අනුව TYPE I, TYPE II  හා TYPE III ලෙස පිටසක්වල ශිෂ්ඨාචාර වර්ගකොට ඇත.



TYPE I - තම මව් ග්‍රහලෝකය සතු සියලුම බළශක්ති ප්‍රභව වලින් බලය උකහාගැනීමේ හැකියාව ඇත. නැසීගිය තාරකා විද්‍යාඥ කාල් සේගාන්ට අනුව මානවයා තවමත් ටයිප් I මට්ටමට පැමිණ නැති අතර ඔහුගේ උපකල්පණය අනුව මානවයා 0.7 වැනි මට්ටමකට පැමිණ ඇත.

TYPE II - තම මව් තාරකාවෙන් නිකුත්වන සියලුම බළශක්තිය තම ප්‍රයෝජනය සඳහා ගතහැකි මට්ටමට තාක්ශණය දියුණුකරගත් ශිෂ්ඨාචාරයක් ටයිප් II ශිෂ්ඨාචාරයක් ලෙස හැඳින්වේ.

මානවයා මෙම තත්වයට පත්වීමට තවත් අවුරුදු 1000ක් හෝ ඊට වැඩි කාළයක් ගනු ඇත. 


චිත්‍රපටයේ දැක්වෙන පිටසක්වලයින් මෙම Type II මට්ටමට තාක්ශණය දියුණු කරගෙන ඇති බව පෙනේ. කිලෝමීටර් 3000ක් විශාල අභ්‍යවකාශ යානා තැනීමට, ආලෝකවර්ෂ ගණනාවක් ඈතින් ඇති ග්‍රහලෝක වෙත ඉතා ඉක්මණින් යාම වැනි තාක්ශණික හපන්කම් මෙවැනි අතිශය දියුණු ශිෂ්ඨාචාරයකින් බලපොරොත්තුවිය හැකිය.

තාරකාවක සියලුම බළය තමන් සතුකරගත හැකි තරමට තාක්ශණය දියුණුකරගත් ශිෂ්ඨාචාරයක්, විශ්වයේ තමන් සතුකරගත හැකි කෝටි ගණන් තාරකා හා ජීවිය නොමැති ග්‍රහලෝක තිබියදී නොදියුණු ජීවීන් සිටින ග්‍රහයෙකු විනාශ කරන්නට ආලෝක වර්ශ ගණන් මග ගෙවා එන්නේ ඇයි දැයි තර්කාණුකූලව විස්තර කල හැකිද?

මෙය නූතන උදාහරණයකට සමාන කලහොත්, අමෙරිකාව සිය ස්ටෙල්ත් ප්‍රහාරක යානා හා අතිනවීන අවිආයුධ සමග පැමිණ, තමන්ට කිසිදු තර්ජනයක් නැති අප්‍රිකාවේ නොදියුණු පිග්මි ගෝත්‍රිකයින්ගේ ගමක් වැටලීම තරම් නිෂ්ඵල ක්‍රියාවක් නොවන්නේද?

පෘථිවිය මෙන්ම මානවයාද, සුවිශේෂ බව විශ්වාස කිරීම මානවයින්ගේ ලක්ශණයක් වුවත් පෘථිවියේ හෝ අපගේ සෞරග්‍රහමණ්ඩළයේ හෝ සුවිශේෂවූත් (දැනට ජීවයම හැරෙන්නට ) වෙනත් දෙයක් නොමැති බව විද්‍යාඥයින්ගේ මතයයි. එමෙන්ම මේ වනවිටත් පෘථිවිය හා බොහෝ සමාන, ද්‍රව ජලය ඇතැයි අනුමාන කෙරෙන ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත. ඒවායේද පෘථිවියේ මෙන්ම යම් ආකාරයක ජීවය ඇතැයිද අනුමාන කෙරේ.

පිටසක්වල දියුණු ජීවයකට, ජීවත්වීම සඳහා ග්‍රහලෝකයක් අවශ්‍යනම්, අපටත් වඩා පහසුවෙන් ඔවුනට මෙවැනි ග්‍රහලෝකයක් සොයා ගැත හැකි අතර, එම ග්‍රහලෝකය terra-forming තාක්ශණය ආධාරයෙන් තමන්ට අවශ්‍ය ආකාරයට සකසාගැනීමටද ඔවුනට පුලුවන. 


එසේනම්, දැවැන්ත යානා රැගෙන පෘථිවිය ආක්‍රමණය කිරීම තේරුමක් නැති නිශ්ඵල ක්‍රියාවක් නොවේද?

__________________________________________________________________________ Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments