මහා පොත් ප්‍රදර්ශණය 2016 - බැලුවෙමි, ඇවිද්දෙමි, පොත් නොගත්තෙමි




මහා පොත් ප්‍රදර්ශණය 2016 සැප්තැම්බර් 16 ඇරඹී 25 එනම් හෙට (ඉරිදා) අවසන් වෙයි. පොත් ලැදි, කියවීම ලැදි දරුවන්, දෙමව්පියන්, සාහිත්‍යලෝලීන් හා නවකතා ප්‍රේමින් මෙන්ම ලේඛකයා වැනි විද්‍යාව, තාක්ශණය, ව්‍යාපාර, සත්වලෝකය, ඉතිහාසය ආදී වෙනත් විෂයන් ගන උනන්දුවක් දක්වන්නන්ද සැප්තැම්බරයේ උදාවෙන  මහා පොත් උළෙල උදාවනතෙක් පුලපුලා සිටිති. 

පොත් ප්‍රදර්ශණ භූමියේ පැය කිහිපයක් සැරිසැරූ මෙන්ම ඒ අසලින් රාජකාරි කටයුතු සඳහා වෙනත් දිනවලදී ගමනකල  මට  මිලියන ගණනක් ජනතාව මේ උලෙලට දිනපතා පැමිණිබව පෙනුනි. 

මළපොතේ අකුරකට ආසාවක් නැතිව රස්තියාදුවට පැමිණෙන කොල්ලන් කෙල්ලන් නිසා වැඩිවන තදබදය.

සෑම පොත් උළෙලකදී මෙන්ම බන්ණ්ඩාරණායක ශාලාවේ පැවැත්වෙන ඕනෑම ප්‍රදර්ශණයකට පැමිණි එතන තදබදය වැඩිකරන, එහි සිදුවෙන කිසිදු කටයුත්තකට ආශාවක්, උනන්දුවක්, හැඟීමක් නැති රස්තියාදුකාර රොත්ත මෙවරත් පොත් උළෙලේ තදබදය වැඩිකොට තිබුණි.

බෑග්මළු පිටේ එල්ලාගෙන, අත්වැල් අල්ලගෙන, අඩියෙන් අඩිය සෙල්ෆි ගසමින්, සෑම පොත් කුටියකටම රිංගන මේ රස්තියාදුකාර නඩය තදබදය වැඩිකිරීම නිසා ආසාවට පොතක් පෙරලාගෙන ටිකක් බලන්නට උත්සහ කරන දරුවන්, දෙමව්පියන්, පාඨකයින් අපහසුවට පත්වෙනු මම හොඳින් දැක්කෙමි.

මෙම රොඩ්ඩන් මෙහි රිංගීම වැලැක්වීමට යම් උපායක් යෙදවීම ගැන සංවිධායකයින් සිතා බැලිය යුතුය. එක් උපායක් වන්නේ රුපියල් 250ක්-500ක් වැනි ඇතුල්වීමේ ගාස්තුවක් එක් අයෙකුගෙන් හෝ එක් පවුලකින් අයකිරීමයි. 

මෙය අධික මුදලක් බැවින් පොත් ලෝලීන්ට අසාධාරණයක් වීම වැලැක්වීම සඳහා මිල්දී ගන්නා ඕනෑම පොතක් හෝ වෙනත් ලිපිද්‍රව්‍යයක් වෙනුවෙන් ගෙවීම සඳහා එම ටිකට් පත භාවිතා කිරීමට ඉඩ දිය යුතුය. උදාහරණයක් ලෙස රු.500ක් දී ඇතුලට යන පවුලක් රු. 300කට ශිෂ්‍යත්ව පොතක් ගන්නවානම් එයට ගෙවීම සඳහා මෙම රු.500 ටිකට්පත ඉදිරිපත් කල හැකි අතර, ටිකට්පත ලබාගෙන ඉතිරි රු.200 ආපසු ලබාදීමට කටයුතු කල යුතුය.

එවිට නූඩුල්ස් කා සෙල්ෆි ගැසීමත්, හැකිනම් පොතක්, පෑණක් හොරකම් කිරීමටත් හිතාගෙන බොරුවට මෙහි රිංගන රස්තියාදුකාර නඩ ඇතුලුවීම වලක්වා පොතක්, පෑණක්, පැන්සලක්, සඟරාවක් ගන්නට එන අයට ඉඩ ලැබේ. 

කොකාකෝලා සිල්ලර වෙළඳුන්ගේ  තක්කඩිකම් මෙවරත්

භූමිය තුල සිසිල්බීම අලෙවිකරන කොකාකෝලා කාරයින්ගේ තක්කඩිකම් වෙනදා මෙන් මෙවරත් දකින්නට තිබුණි. ප්ලාස්ක්ටික් බෝතලයක් රු.50 ගණනේ කොකාකෝලා, ෆැන්ටා, ස්ප්‍රයිට් හා ජින්ජර් බියර් තිබෙන බවට බෝඩ් එල්ලාගෙන සිටියද ගන්නට ගියවිට එහි සිටි නොහික්මුණු තක්කඩින් කියා සිටින්නේ ප්ලාස්ටික් බෝතල් දැන් ඉවර බවත් රු.70 ගණනේ කෝප්පයට කොකා කෝලා ගත හැකි බවත්ය. එපමණක් නොව, එවැනි එක් කඩයක සිටි එකෙකු කියා සිටියේ රු.50/- ප්ලාස්ටික් බෝතල් ගෙනාවේ නැති බවයි. ගෙනාවේ නැතිවුනාට තිබහට එන මිනිසුන් රවටන්නට බෝඩ් එක එල්ලාගෙන සිටී.

මොවුන්ගේ මෙම තක්කඩිකම් වලට ඉඩ ලැබී ඇත්තේ මේ කිසිවකට වචනයක් වත් නොකියන අපේ මෝඩ මිනිසුන් නිසාය.

මීට කලින් වතාවකද බණ්ඩාරනායක භූමියේ කොකාකෝලා ස්ටෝලයකින් ප්ලාස්ටික් බෝතලයක් ගෙන, එය මා දියණියන් දෙදෙනා සමග බෙදාගැනීමට බීලා විසිකරන කෝප්පයක් ඉල්ලූ විට මෙම කොකාකෝලා මඩුවේ සිටි නූගත් තක්කඩියා කිව්වේ කෝප්ප දෙන්නේ කෝප්පයට කොකාකෝලා ගන්නවා නම් පමණක් බවයි. 

ගෙදරින් ගෙනාපු වතුර බෝතලේ බොන්නට කෝප්පයක් ඉල්ලුවානම් කමක් නැත. බඩුවක් ගත්ත පසුවත් නිකම් දෙන කෝප්පයට පාට් දැමූ ඌව අල්ලා පොලොවේ ගැසීමට තරම් කෝපයක් ඇති වුවද, කෝපය මුවින් පමණක් පිටකරමින්, "ඉගෙන ගත්ත නැති රස්තියාදු කාරයෝ ඔහොම තමයි ළමයිනේ..විසි කරන කෝප්පෙටත් පාට් දානවා..." යනුවෙන් හයියෙන් ඇහෙන්නට කියා මා දියණියන් දෙදෙනා සමග එතනින් ඉවත් වීමි.

සමාජ වගකීම් ගැන කයිවාරු ගසන කොකාකෝලා වැනි සමාගම් තම භාණ්ඩ විකුණන මිනිසුන් එම සමාජ වගකීම් කෙසේ වෙතත් අඩුම තරමේ හික්මීමකින්, ප්‍රසන්න ලෙස පාරිභෝගිකයාට සළකනවාදැයි සොයා බැලිය යුතුය. 

CIM (UK) මාර්කටින් ඩිප්ලෝමා තියෙන හැත්ත බුරුත්තක් මාකටින් මැනේජර්ලා, බ්‍රෑන්ඩ් මැනේජර්ලා, සේල්ස් මැනේජර්ලා, ඒරියා මැනේජර්ලා ඉන්න කොකාකෝලා වැනි සමාගම් වලට මෙය අපහසු කටයුත්තක් නොවිය යුතුය.

"ජෙයා බුක් සෙන්ටර්" පේව්මන්ට් සයිස් බුක් ස්ටෝල්

සුප්‍රකට "ජෙයා බුක් සෙන්ටර්" එක මෙවරත් ඔවුන්ගේ පදිකවේදිකා මාදිලියේ පොත් කුටියම ඉදිරිපත් කර තිබුණි. අඩි 10ක්වත් පලල නැති මෙම කුටියේ දෙපැත්තේත්, මැද්දේත් පොත් රාක්ක අඩුක්කර තිබෙන්නේ පොත් බලන්නේ කියවන්නේ මීයන් යයි සිතාගෙනද? 

හැරෙන්නවත් ඉඩ නැත. එකෙක් පොතක්  බලන විට ඔහු පසුකරගෙන යන්නට අනිකා පොත බලා ඉවරවෙන තුරු සිටිය යුතුය.  හැම වසරකම කිසිම වෙනසක් නැතුව මෙම පේමන්ට් කුටිය ඉදිරිපත් කරන්නේ ඇයි? ජෙයා අයිතිකාරයා කිසිදාක තම පොත් ඉස්ටෝලයට ඇවිත් තමුන්ගේ පොත් ගන්නට එන මිනිස්සුන්ට සිදුවන අපහසුව දැක නැතිද? 

No Parking ප්‍රදර්ශනේ

පාර්කින් ඇත්තේ පර්මිට් ඇති අයටය. ඒ කියන්නේ පොත් මුදලාලිලාගේ වාහනවලටය. පොත් ගන්නට එන මිනිස්සුන්ට මොනවා වුනත් කමක් නැත. 

මෙම ආකාල්පය පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ මෙන්ම ලාංකේය ව්‍යාපාරික ක්ශේස්ත්‍රයේ බොහෝ අයවලුන්ගේ පරමාදර්ශය නැතහොත් දැක්ම බව පෙනේ. 

* 4G බ්‍රෝඩ්බෑන්ඩ් කියමින් හන්දියක් ගානේ අලෙවිකරන අන්තර්ජාල සබඳතාවල බොහෝවිට 3G වේගයවත් නැත. 

* ගෙදර යන ගමන් බඩු ගන්නට එන්න කියන සුපර්මාකට් වල ඇතුලට යනවිට දැනෙන ගඳ ඇතුලේ ඉන්න මැනේජර්ලාට නොදැනේ. ගෙදර යන ගමන් සබන් කෑල්ලක්, සීනි ටිකක්, එළවලු දෙකක් අරගෙන එලියට බහින්නට පැය කාළක්වත් පෝලිමේ සිටිය යුතුය. ඊට වඩා බොහෝ ඉක්මණට හන්දියේ මුදලාලිගේ කඩයෙන් ගත හැකිය.

* ජනමාධ්‍යය යයි කියමින් මහා කයිවාරු ගසන රූපවාහිණී හා පත්තර කරන්නේ එක්කෝ කඩේ යන එකය, නැතිනම් කාගේ හෝ කුණුරෙදි අපුල්ලන එකය. ඊට අමතරව ඉතුරු ටික නිකම්ම නිකන් ගොසිප්ය.  ඉරිදා පත්තරවල දැන්වීම් ටික විසිකලවිට කියවන්නට තියෙන්නේ එපමණක්ම නේද?

පොත් සල්පිලේ අනාගතය

ඉතිහාසයේ වැඩිම පොත් විකුණුනු සල්පිල ලෙස කයිවාරු ඇසේ. එය ඇත්තකි. නිවී යාමට පෙර පහන් දීප්තිමත්ව දැල්වේ.

පොත් ගන්නට එන මිනිසුන් ගැන සත පහක හෝ තැකීමක් නොමැතිව සංවිධානය කොට ඇති මෙවර පොත් සල්පිල ගියවසරේ වැරදි කිසිවක් හදා නොගෙන, අලුත් වැරදි ගණනාවක් එකතුකරමින් පැවැත්වේ. 

ලබන වසර වනවිට වැරදි හා ගැටලු තවත් වැඩිවනු ඇති අතර, නුදුරු අනාගතයේදීම මහා පොත් කරුමය බවට පත්වී මහජනයා මෙය වර්ජනය කරන තැනට පැමිණෙනු ඇත.

__________________________________________________________________________ 
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments