ශ්‍රී ලංකාවේ කෙසෙල් වර්ග



ශ්‍රී ලංකාව කෙසෙල් වර්ග ගණනාවක් තියෙනවා. හැඩයෙන්, ප්‍රමාණයෙන්, පාටින් වගේම රසයෙනුත් වෙනස් කෙසෙල් ගෙඩි වර්ග ගණනාවක් තියෙන කෙසෙල් එක්ක පාරම්පරිකවම බැඳුණු දේශයක් ලංකාව. අපේ රටයි කෙසෙලුයි අතර තියෙන නෑකම ක්‍රි.ව. 341 දක්වා ඈතට විහිදෙනවා. ශ්‍රී ලංකාවේ රජවරුන් අතරින් දක්ෂතම වෛද්‍යවරයා විදිහට ප්‍රසිද්ධ බුද්ධදාස රජතුමා ලියපු සාරාර්ථ සංග්‍රහය කියන පොතේ කෙසෙල් ගසේ විවිධ කොටස් වල තියෙන ඖෂධීය ගුණ ගැන විස්තර දැක ගන්න පුළුවන්. මේ තරම් දීර්ඝ, ඓතිහාසික නෑකමක් තිබුණත් අපේ රටේ බොහෝ දෙනෙක් කෙසෙල් ගැන ගොඩක් තොරතුරු දන්නේ නැහැ. මේ ලිපියේ අරමුණ ඒ ගැන යම් දැනුමක් ලබා දෙන එකයි.

පළමු කාරණය තමයි කෙසෙල් ගස. “ගස” කියලා කිව්වාට මේක ඇත්තටම ගහක් නෙවෙයි, මීටර් කිහිපයක් උසට වැවෙන පැළෑටියක්. මේ නිසා තමයි කෙසෙල් “ගසේ” කඳ කවදාවත් වෙනත් ගස් වල වගේ ලීයක් බවට පත් වෙන්නේ නැත්තේ. කෙසෙල් කඳ තනිකරම හැදිලා තියෙන්නේ තදට එතුණු කෙසෙල් කොළ වලින්.

ඒ වගේම තවත් අරුම පුදුම දෙයක් තියෙනවා, කෙසෙල් කියන්නේ පළතුරක් වගේම බෙරි වර්ගයක්, නැතිනම් ගඩා ගෙඩි වර්ගයක් (Berries). ලංකාවේ අපිට බෙරි වර්ගයක් කිව්වාම ගැන ලොකු අවබෝධයක් නැතත් වැඩි දෙනෙක් ගඩා ගෙඩි වර්ග ගැන දන්නවානේ. උද්භිද විද්‍යාඥයන්ට අනුව බෙරි වර්ගයක් කියන්නේ තනි ඩිම්බයක් සහිත මලකින් පොකුරු විදිහට හටගන්නා සරල පලතුරු වර්ගයකට. හැම ගෙඩියකම ඇට ගණනාවක් තියෙන එක බෙරි වර්ග වල ලක්ෂණයක්. නිකමට හරි කෙසෙල් ගෙඩියක් කන අතරේ ඇතුලේ තියෙන ඇට දිහා විමසිල්ලෙන් බලලා තියෙනවාද? කෙසෙල් කියන්නේ බෙරි වර්ගයක් කියන එක මේ ගැන විශේෂඥ දැනුමක් තියෙන කවුරුත් එකහෙලාම පිළිගන්නවා. ඒ නිසා බෙරි කුලයේ තියෙන පෝෂක සේරම වගේ කෙසෙල් තුලත් අඩංගුයි.


ඒ වගේම ඉංග්‍රීසියෙන් කෙසෙල් හඳුන්වන්න භාවිත වෙන Banana සහ Plantain කියන වචන දෙකේ තේරුමේත් ඇත්තටම වෙනසක් තියෙනවා. ලංකාවේ වැඩි දෙනෙක් මේ දෙකම මාරුවෙන් මාරුවට පාවිච්චි කළත් Banana කියලා හඳුන්වන්නේ අතුරුපසක් විදිහට කෑමට ගන්න කෙසෙල් වර්ග වලට විතරයි. පිසූ ආහාරයක් විදිහට කෑමට ගන්න කෙසෙල් වර්ග වලට තමයි Plantain කියන වචනය පාවිච්චි වෙන්නේ. ඒ අනුව, අළු කෙසෙල් ඈෂ් ප්ලාන්ටන් වෙනකොට අතුරුපසක් විධියට ගන්න සීනි කෙසෙල් බනානා විධියට හැඳින්විය යුතුයි.

මේ වර්ග දෙකේම කෙසෙල් අයත් වන Musa කියන ශාක කුලය නම් කිරීමේ ගෞරවය හිමි වෙන්නේ 18 වන ශත වර්ෂයේ ජීවත් වුණු කැරෝලස් ලිනේයස් (Carolus Linnaeus) කියන ස්වීඩන් ජාතික උද්භිද විද්‍යාඥයාටයි. රෝමානු ජාතික කායික වෛද්‍යවරයෙක් වුණු ඇන්ටෝනියස් මූසා (Antonius Musa) හට කෙරෙන ගෞරවයක් විදිහට ඔහුගේ නමින් තමයි Musa විශේෂය නම් කෙරුණේ.

කෙසෙල් වර්ග දෙක අතර තියෙන මේ වෙනස ගැන නොදන්නා එකම පිරිස අපි විතරක් නෙවෙයි. උද්භිද විද්‍යාඥයන් M. F. චන්ද්‍රරතන මහතාටත්, K. D. S. S. නානායක්කාර මහතාටත් අනුව Banana සහ Plantain අතර “කෙසෙල් වගා කරන රටවල් වල පැහැදිලි වර්ග කිරීමක් කරලා නැහැ වගේම විධිමත් ක්‍රමයකට වර්ග කරන්න තරම් සාධාරණ වෙනසක් ඇත්තෙත් නැහැ”. ඔය වර්ග දෙකම සිංහලෙන් හඳුන්වන්නේත් කෙසෙල් කියලා.

කෙසෙල් වල ඉතිහාසය

කෙසෙල් වල මූලාරම්භය විදිහට සැලකෙන්නේ ගිණිකොනදිග ආසියාවේ, ඒ කිව්වේ අද පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව කියලා හඳුන්වන රටවල ඝනව පැතිරී තිබුණු වනාන්තර ප්‍රදේශ. කෙසෙල් ගැන මුල්ම ලිඛිත සාක්ෂි ක්‍රි.පූ. 500දී විතර ලියැවුණු සංස්කෘත ලේඛන වලින් හමු වී තිබෙනවා. නමුත් පුරාවිද්‍යාත්මක කැණීම් වලට අනුව අද තියෙන කෙසෙල් වලට නෑකම් කියන ඇට සහිත කෙසෙල් වර්ගයක් අපේ රටේ ඉස්සර ජීවත් වුණු බලන්ගොඩ මානවයා ආහාරයට ගත් බවට සාක්ෂි දැක ගන්න පුළුවන්. මේ මිනිසුන් ලංකාවේ ජීවත් වුණේ මීට බොහෝ කාලයකට ඉහත, හරියටම කිව්වොත් ක්‍රි.පූ. 10,000 වගේ කාලයේ. ඒ වගේම කෙසෙල් වර්ග වගා කිරීම නිව් ගිණි දූපත්වල “කුක්” නිම්නයේ (Kuk Valley) ක්‍රි.පූ. 5,000 වගේ කාලයේ සිට සිදු කෙරුණු බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

මහා ඇලෙක්සැන්ඩර්, නැතිනම් Alexander the Great  ක්‍රි.පූ. 327 අවුරුද්දේ ඉන්දියාව ආක්‍රමණය කරපු කාලයේ ඉන්දු නිම්නය (Indus Valley) පුරාවටම සරුවට වගා කරලා තිබුණු කෙසෙල් වතු දැකගන්න ලැබුණු බව වාර්තා වල සඳහන් වෙනවා. මහා ඇලෙක්සැන්ඩර් තමයි බටහිර ලෝකයට කෙසෙල් හඳුන්වා දුන්නු බවට සැලකෙන්නේත්. කොහොම වුණත් කෙසෙල් හඳුන්වන්න ඉංග්‍රීසියෙන් භාවිත වන Banana කියන වචනය බිහිවීම නම් අරාබි හෝ උතුරු අප්‍රිකානු වෙළෙන්දන් අතින් සිදු වුණු බව තමයි විශ්වාස කෙරෙන්නේ. අරාබි භාෂාවෙන් ඇඟිලි හඳුන්වන්න යෙදෙන්නේ “බනාන්” (Banaan) කියන වචනය. ඉස්සර කාලේ තිබුණු කුඩා කෙසෙල් වර්ග ඇඟිලි වලට බොහෝ සමාන නිසා මේ නම වැටුණු බව හිතන්න පුළුවන්.

කෙසෙල් පොකුරක් හඳුන්වන්න අපි පාවිච්චි කරන්නේ “කෙසෙල් ඇවරිය” කියන වචනය. සමහර අය මේ “ඇවරිය” කියන වචනය ශ්‍රී ලාංකිකයන් “අත” හඳුන්වන්න යොදන වචනයට සමානයි කියලත් කියනවා. නමුත් සිංහල හෝ දෙමළ භාෂා වල මේ කරුණ තහවුරු කරන්න පැහැදිලි සාක්ෂියක් නම් දකින්න නැහැ. කොහොම වුණත් ඉස්ලාම් ලේඛන වල අරාබි ජාතික වෙළෙන්දන් අතර කෙසෙල් ආහාරයට ගැනීම බොහොම ජනප්‍රිය වෙලා තිබුණු බවට සාක්ෂි දැකගන්න පුළුවන්. මේ නිසා ඔවුන් වෙළඳාම් කළ ප්‍රදේශ වල කෙසෙල් වලට ඉහළ ඉල්ලුමක් තිබිලා තියෙනවා. පසුව පෘතුගීසි, ලන්දේසි සහ ස්පාඤ්ඤ ජාතිකයන් අතරත් කෙසෙල් ජනප්‍රිය වුණාට පස්සේ තමයි කෙසෙල් ලෝකය පුරාම පැතිරුණු ආහාරයක් බවට පත් වුණේ.

ශ්‍රී ලංකාවේ කෙසෙල්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාව පුරාම වර්ග ගණනාවකට අයත් කෙසෙල් වර්ග වසර පුරාම වැවෙනවා දැක ගන්න පුළුවන්. කෙසෙල් වවාගන්න එකත් ඒතරම් අසීරු නැහැ, බොහෝ තැන් වල කෙසෙල් වර්ග ඉබේම වුණත් වැවෙනවා. ඒ නිසාම කුඩා, මධ්‍යම වගේම මහා පරිමාණයෙන් සිදු කෙරෙන ව්‍යාපාරික මට්ටමේ කෙසෙල් වතුත්, නිවෙස් වල සිදු කෙරෙන කෙසෙල් වගාත් ඕනතරම් තියෙනවා.

ලෝකය පුරා කුල 50කට විතර අයත් වෙන කෙසෙල් වර්ග 1000ක් විතර දකින්න පුළුවන්. මේ අතරින් ශ්‍රී ලංකාව තුල වැවෙන කෙසෙල් වර්ග ගණන 29ක්. එයින් වැඩි හරියක් අපේ රටටම ආවේණික කෙසෙල් විශේෂ විදිහට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම දකුණු ඉන්දියාවෙන් අපිට ලැබුණු බවට විශ්වාස කෙරෙන කෙසෙල් වර්ග කිහිපයකුත්, විද්‍යාත්මකව රටට හඳුන්වා දුන්නු කෙසෙල් විශේෂ කිහිපයකුත් දැක ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන කෙසෙල් වර්ග පැහැදිලි කාණ්ඩ තුනකට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි මයිසෝර් කාණ්ඩය (Mysore), කෝලිකුට්ටු කාණ්ඩය සහ කැවෙන්ඩිෂ් කාණ්ඩය (Cavendish) කියන තුන. මේ අතරින් මයිසෝර් කාණ්ඩයට තමයි අපේ රටේ ඉතාම ජනප්‍රිය ඇඹුල් කෙසෙල් සහ සීනි කෙසෙල් අයත් වෙන්නේ. කෝලිකුට්ටු කාණ්ඩයට කෝලිකුට්ටු කෙසෙල් වගේම පූවාළු, සුවඳැල් සහ රත් කෙසෙලුත් අයත් වෙනවා. ආනමාළු, ඇම්බුන්, බිං කෙසෙල් සහ නේත්‍රා පලම් කියන කෙසෙල් වර්ග අයත් වෙන්නේ කැවෙන්ඩිෂ් කාණ්ඩයට.
  • මයිසෝර් කාණ්ඩය (Mysore) - ඇඹුල් කෙසෙල් සහ සීනි කෙසෙල්
  • කෝලිකුට්ටු කාණ්ඩය - කෝලිකුට්ටු, පූවාළු, සුවඳැල් සහ රත් කෙසෙල්
  • කැවෙන්ඩිෂ් කාණ්ඩය (Cavendish) - ආනමාළු, ඇම්බුන්, බිං කෙසෙල් සහ නේත්‍රා පලම්

සාමාන්‍යයෙන් අපේ රටේ වැඩිපුරම ආහාරයට ගැනෙන්නේ ඇඹුල් කෙසෙල්. යාන්තම් ඇඹුල් රසකුත් එක්කම තියෙන පැණි රසය මේ කෙසෙල් වලට සුවිශේෂීයි. තරමක් සිහින්, අගිස්ස උල් වුණු, ප්‍රමාණයෙන් කුඩා ඇඹුල් කෙසෙල් වෙනත් කෙසෙල් වර්ග අතරින් පහසුවෙන්ම හඳුනා ගන්න බොහෝ දෙනෙක් දන්නවා. ඇඹුල් කෙසෙල් ගෙඩියේ පොත්ත තරමක් තුනීයි, ඇතුලේ තියෙන කෙසෙල් මදය සුදු හෝ ඉතාම ලා කහ පාටක් තමයි තියෙන්නේ. ඒ හැම දේකටම වඩා අපි කවුරුත්ම ආස කෙසෙල් සුවඳ ඉන් විහිදෙනවා. රටේ සම්ප්‍රදායන්ට අනුව ආහාර දිරවන්න වගේම ආහාර පහසුවෙන් බඩවැල් තුලින් ගමන් කරන්නත් ඇඹුල් කෙසෙල් ඉඩ සලසනවා කියලා අපේ රටේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. නමුත් ඇඹුල් කෙසෙල් “සීතලයි” කියලා හඳුන්වන නිසා සෙම/හෙම්බිරිස්සාව තියෙන වෙලාවට ඇඹුල් කෙසෙල් කන්න හොඳ නැහැලු.

ඇඹුල් කෙසෙල් ගෙඩියට ප්‍රමාණයෙන් සමාන සීනි කෙසෙල් අපේ රටේ තවත් ජනප්‍රිය කෙසෙල් වර්ගයක්. ඇඹුල් කෙසෙල් වලට වඩා ටිකක් රවුම් හැඩයක් තියෙන සීනි කෙසෙල් වල නමින් කියවෙනවා වගේම හොඳ පැණි රසයක් තියෙනවා. සීනි කෙසෙල් ගෙඩියක් කනකොට පොඩි ඇලෙන සුළු ගතියකුත් කටට දැනෙනවා. මේ කෙසෙල් වලත් පොත්ත තුනීයි. ටිකක් රබර් වගේ හැඟීමක් එන සීනි කෙසෙල් පොත්ත ලපටි කාලයේ කොළ ඇපල් වලට සමාන පාටක් තිබිලා ඉදුණාම අළු පාට මිශ්‍ර කහ පාටක් ගන්නවා. සීනි කෙසෙල් කියන්නේත් පෝෂක වලින් පිරුණු පළතුරක්. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන්ට අනුව සීනි කෙසෙල් තමයි රෝගීන්ට දෙන්න වඩාත්ම සුදුසු වෙන්නේ. විශේෂයෙන්ම ගැස්ට්‍රයිටිස් හරි, සෙම/හෙම්බිරිස්සාව හරි තියෙන අයටත්, වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ටත් දෙන්න හොඳම පළතුරක් තමයි සීනි කෙසෙල්. දියවැඩියාව ඇතුළු සීනි ආශ්‍රිත රෝග තියෙන අයටත් මේ කෙසෙල් ගුණදායකයි කියලා විශ්වාස කරනවා. (මේ ගැන වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි නම් තවම තහවුරු කරගෙන නැහැ)

ටිකක් මිලෙන් අඩු ඇඹුල් සහ සීනි කෙසෙල් ගොඩක් ජනප්‍රිය වුණත් වැඩි දෙනෙක්ට රස වැඩිනම් මිලෙනුත් ඉහළ කෝලිකුට්ටුම තමයි. පැතලි අග්ගිසකින් යුතු, බොහොම පෘෂ්ටිමත් ගෙඩි තියෙන කෝලිකුට්ටු කාණ්ඩයට අයත් කෝලිකුට්ටු සහ සුවඳැල් කියන කෙසෙල් වර්ග දෙකට තමයි අදටත් ලාංකික ජන සමාජයේ ලොකුම පිළිගැනීමක් ලැබෙන්නේ. විශේෂයෙන්ම ආගමික, සංස්කෘතික උත්සව වලදී කෝලිකුට්ටුවලට ඉහළ ඉල්ලුමක් තියෙනවා. මේ වර්ගයේ කෙසෙල් වල පොත්ත ඉතාම තුනීයි, ඒ නිසා සමහරවිට ඉදෙනකොට පැලෙනවා වගේම පොත්ත ගලවද්දී කැඩිලා යන අවස්ථාත් තියෙනවා. ක්‍රීම් පාටට හුරු සුදු පැහැ මදයක් තියෙන කෝලිකුට්ටු වලින් විහිදෙන්නෙත් කටට කෙළ උනන සුවඳක්.

කෝලිකුට්ටු වලට ඉහළ ඉල්ලුමක් තිබුණත් ඉදුණු කෝලිකුට්ටු ගෙඩි පහසුවෙන්ම ඇවරියෙන් වෙන් වෙලා වැටෙන නිසා ප්‍රවාහනය කරන එක ටිකක් අපහසු වැඩක්. සම්ප්‍රදායික විශ්වාසයන් අනුව කෝලිකුට්ටු කියන්නේ “ඌෂ්ණ” පළතුරක්, ඒ නිසා මළබද්ධය වගේ රෝග ඇති කරන්න හේතු වෙනවා. කෝලිකුට්ටු වලට බොහෝ සමාන සුවඳැල් කෙසෙල්වලින් හමන්නේ ඇපල් වලටම සමාන සුවඳක්. සුවඳැල් කෙසෙල් ඉදුණාම තද කහ පාටක් ඇති වෙනවා.

කෝලිකුට්ටු කුලයටම අයත් වෙන පූවාළු කෙසෙල් නම් ටිකක් දුර්ලභ කෙසෙල් වර්ගයක්. අතුරුපසක් විදිහට ආහාරයට ගන්න මේ කෙසෙල් වර්ගය පැහැදිලිවම වක් වුණු හැඩයක් ගන්නවා. ඉදුණාම පොත්තේ පැහැය කහ පාටට හුරු දුඹුරු පාටක් තමයි දකින්න ලැබෙන්නේ. පූවාළු කෙසෙල් වල මදයත් අනෙක් කෙසෙල් වලට වඩා තරමක් දුඹුරු පාටයි.

බොහොම ආකර්ෂණීය පාටක් තියෙන රත් කෙසෙල් තමයි මේ කාණ්ඩයේ අනිත් වර්ගය. නමින් කියවෙනවා වගේම අලංකාර රතු පැහැයක් මේ කෙසෙල් ගෙඩියේ දකින්න ලැබෙනවා. රත් කෙසෙල් පොත්ත ලපටි කාලයේ ඇපල් කොළ පාටටත්, පස්සේ අළු පාට මිශ්‍ර කහ පාටකුත් තිබිලා ඉදුණාම රතු පාටට හැරෙනවා. දුඹුරු සහ කළු පැල්ලම් එහෙමත් තැනින් තැන හට ගන්නවා. ඇතුලත මදය බොහෝ දුරට මුහුදේ පෙණකැටි වලට සමාන පාටක් තියෙන්නේ. ගොඩාක් පැණි රස නැති වුණත් සමහර කෙසෙල් වර්ග වලට වඩා මෘදු පැණි රසයක් රත් කෙසෙල් වල තියෙනවා. සමහරුන්ට අනුව නම් රත් කෙසෙල් වල තියෙන්නේ රාස්බෙරි (raspberry) වලට සමාන රසයක්.

රත් කෙසෙල් වලට ඒ නම ලැබෙන්න හේතු වුණු රතු පාට වර්ණකය තියෙන්නේ පොත්තේ මතුපිට විතරයි. විශේෂයෙන්ම මහනුවර ආශ්‍රිතව රත් කෙසෙල් බහුල වශයෙන් වගා කෙරෙනවා.

කැවෙන්ඩිෂ් කුලයට අයිති ආනමාළු කියන්නෙත් ලංකාව පුරාම ජනප්‍රිය කෙසෙල් වර්ගයක්. ආනමාළු ගෙඩිය ප්‍රමාණයෙන් විශාල නිසාත්, සිහින් දිගු හැඩය සහ වක් වීම නිසාත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ආනමාළු ගෙඩිය හොඳටම ඉදුණාට පසුව වුණත් තියෙන්නේ ලා කොළ පාටින්. ඒ වගේම ආනමාළු පොත්තත් තරමක් ඝනකම්. ආනමාළු ගෙඩියේ ඇත්දළ පැහැති මදය ඉතාම මෘදු ඇඹුල්-පැණි මිශ්‍රිත රසයක් ගන්නවා. ක්ෂණික ශක්තියක් ලබා දීමේ හැකියාව නිසා රට පුරාම ඉන්න ක්‍රීඩකයන් අතර ආනමාළු කෙසෙල් බොහොම ජනප්‍රියයි.

ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු වලටත් ආනමාළු කෙසෙල් ඉතාම ගුණදායකයි. ඉදිලා වැඩිවුණු ආනමාළු කෑවාම බඩ එළිය යාම නවත්වා ගන්න පුළුවන් බවටත්, බාගෙට ඉදුණු ආනමාළු කෑවාම මලබද්ධය සුව කර ගන්න පුළුවන් බවටත් අපේ පැරැන්නන් අතර කතාවක් තියෙනවා. මේ වගේ ඖෂධීය ගුණ වගේම ආනමාළු කියන්නේ ශ්‍රී ලංකික කාට වුණත් ආසාවෙන් කන්න තියෙන හොඳම පලතුරු වලිනුත් එකක්.

ඇම්බුන් කියන්නෙත් ආනමාළු වගේම කැවෙන්ඩිෂ් කුලයට අයිති කෙසෙල් වර්ගයක්. ප්‍රමාණයෙන් තරමක් විශාල, තත්වයෙන් උසස් මේ කෙසෙල් වර්ගය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 1927 අවුරුද්දේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. මැලේසියාවේ “සෙලන්ගෝ” වල “සර්දැන්” කියන ප්‍රදේශයේ (Serdang, Selangor) තිබුණු කෙසෙල් වර්ගයක් තමයි මේ විදිහට අපේ රටට හඳුන්වා දුන්නේ. ඇම්බුන් කෙසෙල් ගෙඩියේ වක් වුණු හැඩයක් තිබුනත් ආනමාළු තරමටම වක් වෙන්නේ නැහැ. ඇම්බුන් ගෙඩිය ලපටි කාලයේ කොළ පාටට තිබිලා ඉදුණාම අළු මිශ්‍ර කහ පැහැයට හැරෙනවා. පොත්ත බොහොම ඝනයි. ඇතුලත තියෙන රසවත් මදය කහ-දුඹුරු පාටකින් යුක්තයි.

ඇම්බුන් සහ ආනමාළුත් විශාල කෙසෙල් වර්ග වුණාට නේත්‍රාපලම් තමයි ශ්‍රී ලංකාවේ තියෙන විශාලම කෙසෙල් වර්ගය වෙන්නේ. සාමාන්‍යයෙන් නේත්‍රාපලම් කෙසෙල් ගෙඩියක දිග අඩියකටත් වඩා වැඩියි. බරත් ග්‍රෑම් 900 සිට කිලෝ එක හමාරක් දක්වා වෙන්න පුළුවන්! සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන, දුර්ලභ පළතුරක් වන නේත්‍රාපලම් කියන්නේ හඳුනා ගන්න කොයි තරම් පහසු වුණත් තනියම කන්න නම් හරිම අපහසු කෙසෙල් වර්ගයක්.

ඊළඟට තියෙන්නේ බිං කෙසෙල්. ලෝකය පුරාම කැවෙන්ඩිෂ් කෙසෙල් කියලා ප්‍රසිද්ධ කෙසෙල් වර්ගයට හැම අතින්ම සමාන බිං කෙසෙල් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේත් ශ්‍රී ලාංකීය කැවෙන්ඩිෂ් (Sri Lankan Cavendish) කියලයි. බොහෝ බටහිර ජාතිකයන් කෙසෙල් කියලා දන්නෙත් කැවෙන්ඩිෂ් කෙසෙල් විතරමයි. කැනරි දූපත් කෙසෙල් (Canary Island Banana), නැතිනම් චීන කෙසෙල් (Chinese Banana) කියලාත් හඳුන්වන කැවෙන්ඩිෂ් කෙසෙල් වල මූලාරම්භය විදිහට සැලකෙන්නේ දකුණුදිග චීනය. නමුත් ශ්‍රී ලාංකීය කැවෙන්ඩිෂ්, නැතිනම් බිං කෙසෙල් වල උපත සිදු වෙන්න ඇත්තේ මොරිෂස් රාජ්‍යයෙන් (Mauritius) හඳුන්වා දුන්නු කෙසෙල් වර්ගයක් ඇසුරෙන් කියල විශ්වාස කෙරෙනවා. මේ හඳුන්වා දීම සිදු වුණේ 20 වන ශතවර්ෂයේ මුල් භාගයටත් කලින්.

මේ කෙසෙල් වර්ගය කැවෙන්ඩිෂ් කෙසෙල් විදිහට ජනප්‍රිය වෙන්න හේතු වුණේ එංගලන්තයට මේ කෙසෙල් වර්ගය හඳුන්වා දීපු විලියම් කැවෙන්ඩිෂ් නිසයි. (William Cavendish) ඔහු එංගලන්තයේ ඩෙවෝන්ෂයර්හි (Devonshire) හය වන ආදිපාදවරයා විදිහට 1800 ගණන් වල ජීවත් වුණු ප්‍රභූවරයෙක්. නමුත් දකුණුදිග චීනයේ හැදුණු කෙසෙල් වර්ගයක් එංගලන්තයේ ආදිපාදවරයෙක් වෙත ආවේ කොහොමද? බොහෝ දෙනා විශ්වාස කරන විදිහට කැවෙන්ඩිෂ් ආදිපාදවරයා මවුරිටියස් රාජ්‍යයෙන් ගෙන ආපු කෙසෙල් පැළයක් ඔහු සතුව තිබුණු හරිතාගාරයක පැළ කරලා රැක බලාගෙන තියෙනවා. අද ලෝකය පුරාම පැතිරිලා තියෙන කැවෙන්ඩිෂ් කෙසෙල් වර්ග වැඩි හරියක් බිහි වුණේ මේ පැළෑටිය නිසාලු. ඉතින් මේ වර්ගයේ කෙසෙල් කැවෙන්ඩිෂ් කෙසෙල් කියලා හඳුන්වන එක සාධාරණයි නේද?

බටහිර සහ සීතල රටවල් වල තියෙන ඉල්ලුම කොහොම වුණත් කොහොමවුණත් ශ්‍රී ලංකාවත් ඇතුළුව සමකාසන්න කෙසෙල් වවන රටවල් වැඩි හරියක කැවෙන්ඩිෂ් කෙසෙල් වලට ලොකු ජනප්‍රියත්වයක් නැති බව කියන්න අවශ්‍යයි. අපි කලිනුත් කියපු අපේ රටේම උද්භිද විද්‍යාඥයන් දෙදෙනෙක් වන M. F. චන්ද්‍රරතන මහතාත්, K. D. S. S. නානායක්කාර මහතාත් මේක බොහොම අපූරුවට පෙන්වා දෙනවා. “කැවෙන්ඩිෂ් වර්ගය වාණිජ කෙසෙල් වර්ගයක් විදිහට හඳුන්වා දෙනු ලබපු වෙනත් රටවල් වලින් ලැබුණු ඉහළ පිළිගැනීමයි, ශ්‍රී ලංකාවේ එයට තියෙන අඩු සැලකිල්ලයි වැඩි දෙනෙක්ට තේරුම් ගන්න බැහැ..” නමුත් ශ්‍රී ලංකාවේ තියෙන වර්ග ගණනාවක රසවත් කෙසෙල් වර්ග කාල හුරු වුණු අපේ රටේ මිනිස්සු ඉටි ගතියක් තියෙන, ඇට නැති, පොත්ත මහත කැවෙන්ඩිෂ් කෙසෙල් කන්න අකැමැත්තක් දක්වන එකට දොස් කියන්න පුළුවන් කාටද?

අපි මෙතෙක් කතා කළා වගේ රසවත් කෙසෙල් වර්ග ගණනාවක් ශ්‍රී ලංකාවේදී පළතුරක් විදිහට, නැතිනම් අතුරුපසක් විදිහට ආහාරයට ගැනෙනවා. නමුත් අපි කලින් Plantain කියලා වර්ග කරපු, නැතිනම් උයලා ආහාරයට ගන්නා කෙසෙල් වර්ගත් ලංකාවේ දකින්න පුළුවන්. මේ අතරින් වැඩිපුරම ජනප්‍රිය අපි කවුරුත් දන්න අළු කෙසෙල්.

අළු කෙසෙල් ගෙඩිය පැහුණාට පස්සෙත් අළු/කොළ පාටක් පවත්වා ගන්නවා. තරමක් වක් වුණු හැඩයක් තියෙන අතරම බොහොම පහසුවෙන් දකින්න පුළුවන් පිටත දාරයක් තිබීම මේ කෙසෙල් වලටම ආවේණික ලක්ෂණයක්. ශ්‍රී ලංකාවේ කෙසෙල් වර්ගයක් විදිහට සිංහල සාහිත්‍යයේ මුලින්ම තියෙන ලිඛිත සාක්ෂියේ පවා කියවෙන්නේ අළු කෙසෙල් ගැනයි. අපේ සම්ප්‍රදායන්ට අනුව උයාපු අළු කෙසෙල් ඉතාම ගුණාත්මක ආහාරයක් විදිහට පිළි ගැනෙනවා. අළු කෙසෙල් ගෙඩි වගේම අළු කෙසෙල් පොත්ත පවා ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු වලට සහනය ගෙන දෙන බව විශ්වාස කෙරෙනවා.

අළු කෙසෙල් වලට අමතරව ඇටමුරු, හම්බන් පූවාළු, මරතමන, මොන්දොන් සහ සම්බෙල් කියන කෙසෙල් වර්ගත් අපේ රටේ උදවිය උයලා ආහාරයට ගන්නවා.

කෙසෙල් වල යහගුණය

කෙසෙල් කියන්නේ ඉස්සර කාලයේ ඉඳන්ම ඉතාම පෝෂ්‍යදායක ආහාරයක් බවට පිළිගැනෙන පලතුරු වර්ගයක්. අපි මීට ඉහතින් ශ්‍රී ලංකාවේ විවිධ කෙසෙල් වර්ග ආහාරයට ගැනීමෙන් ලැබෙන ගුණය ගැන අහන්න ලැබෙන සාම්ප්‍රදායික විශ්වාසයන් ගැනත් පැහැදිලි කළා. ඒ වගේම පොදුවේ හැම කෙසෙල් වර්ගයකම තියෙන යහගුණය ගැන විද්‍යාත්මක පැත්තෙන් ලැබෙන සාක්ෂි ගණනාවකුත් පහතින් දක්වලා තියෙනවා. පුළුවන් හැම වෙලාවකම කෙසෙල් කන්න මේ හේතු ටිකම ප්‍රමාණවත් වේවි.

  1. පොටෑසියම් බහුල කෙසෙල් ගෙඩි කියන්නේ ස්වභාවිකව තියෙන හොඳම ශක්තිජනක ආහාරයක්. ක්ෂණික ශක්තිය ලබා ගන්න වගේම ව්‍යායාම් වලදී ඇති වෙන කෙණ්ඩා පෙරළීම් සුව කර ගන්නත් මීට වඩා හොඳ ක්‍රමයක් නැහැ.
  2. පොටෑසියම් වලින් අපේ ශරීරයේ රුධිර පීඩනය නියාමනය කෙරෙනවා, ඒ නිසා හෘදයාබාධ සහ ආඝාත (stroke) වලින් ආරක්ෂා වෙන්න නිතර කෙසෙල් ආහාරයට ගැනීම ඉතා සුදුසුයි.
  3. කෙසෙල් වල ඇති පෝෂක ඇස් පෙනීම වැඩිදියුණු කිරීමටත්, වයසට යන විට සිදු වන මාංශ පේශී අඩපණ වීම අවම කිරීමටත් දායක වෙනවා.
  4. කෙසෙල් ආහාරයට ගැනීම ශක්තිමත් අස්ථි පද්ධතියක් පවත්වා ගැනීමට උදව් වෙනවා. කෙසෙල් කියන්නේ ආහාර ජීර්ණයට අත්‍යවශ්‍ය හිතකර බැක්ටීරියාවලට පෝෂණය ගෙන දෙන මූලාශ්‍රයක්. (probiotic) මේ බැක්ටීරියාවන් තමයි අපේ ආහාර ජීර්ණයට අත්‍යාවශ්‍ය එන්සයිම වර්ග නිපදවන්නේ. මේ හිතකර බැක්ටීරියා පෝෂණය වීම ආහාර ජීර්ණයත්, ශරීරයට උරාගැනීමත් නිසි පරිදි සිදුවෙන්නට උදව් වෙනවා. විශේෂයෙන් විටමින් වර්ගත්, කැල්සියම් ඇතුළු ඛණිජ ලවණත් නිවැරදිව ශරීරයට ලබා ගන්න මේ ක්‍රියාවලිය ඉතා වැදගත්. කැල්සියම් නිසි ලෙස උරා ගැනීම අස්ථි වල ශක්තිමත්භාවයට ඍජුවම බලපානවා.
  5. කෙසෙල් කියන්නේ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරයක්. වකුගඩු පිළිකා ඇතුළු රෝග බොහොමයක් ඇති කරන මුක්ත ඛණ්ඩක ඇතිවීම පාලනය කරන්න ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගැනීම හේතු වෙන බව සොයාගෙන තියෙනවා.
  6. බඩේ ඇති වන තුවාල (stomach ulcers) වණ වීමට නොදී මුල් අවධියේම සුව කරන්න කෙසෙල් දායක වෙනවා.
  7. කෙසෙල් තුල අඩංගු ආහාරමය තන්තු (diatery fibre), පොටෑසියම්, විටමින් C සහ විටමින් B6 යන සියලුම පෝෂක හදවතේ නීරෝගී බව වැඩිදියුණු කරන්න හේතු වෙනවා.
  8. කෙසෙල් තුල අඩංගු වන ට්‍රිප්ටොෆෑන් (tryptophan) නම් ඇමයිනෝ අම්ලය මතක ශක්තිය වර්ධනය කරන්න හේතු වෙන බවටත්, මානසික ආතතිය දුරු කිරීමටත් හේතු වෙන බව සොයාගෙන තියෙනවා.
__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

Post a Comment