ලාංකික පෙම්වතුන්ගේ විෂකුරු පෙම් සබඳතා වලට හේතු හා පෙමට තිත තැබිය යුතු සොහොන් ලකුණු හඳුනාගැනීම | Reasons for Toxic Love Affairs of Sri Lankan romantic couples & When to Break Up an Affair


ලාංකික පෙම්වතුන්ගේ විෂකුරු පෙම් සබඳතා වලට හේතු

ඉහත පෙනෙන ආකාරයේ පුවත් පත් වාර්තා ලංකාවෙ එමටයි. මේ ඊයේ පෙරේදාත් ලාබාළ පෙම්වතිය පාසැල් නිළ ඇඳුමින් හමුවෙන්නට එන්න බෑ කිව් නිසා තරුණයෙකු සියදිවි නසා ගත්තා. මේ ලිපිය ලියන්නට නිමිත්ත වුනේ මේ වගේ පුවත් වාර්තා.

මේ විධියට පෙම් සබඳතා නිසා දිවිනසා ගැනීම, ඝාතනය කිරීම්, මරාගෙන මැරීම් වෙනත් රටවලත් තිබුණත්, ලංකාවේ බොහොම වැඩියි කියලයි මම හිතන්නේ. මේකට එක හේතුවක් වන්නේ කුඩා කාලේ ඉඳන්ම ගෑණු ළමයින් හා පිරිමි ළමයින් වෙන්කොට තිබීමේ අවාසනාවන්ත තීරණය.

පලමුවෙනි ශ්‍රේණියේ ඉඳන් උසස් පෙල වෙනකම් වෙන්ව හැදෙන නිසා පිරිමි ලමයින්ට ගෑණු ලමයි ගැනත්, ගෑණු ලමයින්ට පිරිමි ලමයින් ගැනත් තේරුම් ගැනීමේ හැකියාවත් නෑ. 

අනෙක් අතට මෙහෙම වෙන්ව හැදෙන නිසා විරුද්ධ ලිංගිකයින් ගැන දැඩි කුතුහලයක් වගේම සැබෑව වෙනුවට මිත්‍යා විශ්වාසත් වැපිරෙනවා. ගෑණු ළමයෙක් හරි තරුණ කාන්තාවක් හරි දුටුවහම ලංකාවේ තරුණ පිරිමි අමුතු විධියට හැසිරෙන්නේ, උස් හඬින් කතාකරමින්, අනුවන විහිළු (මෝඩ ජෝක්) දමමින් කැපීපෙනෙන්නට හදන්නේත් කාන්තාවන් / තරුණියන් නුහුරු නිසා මෙන්ම ඔවුන් සමග යම් ආකාරයක යාළු කමක්, සබඳතාවයක් ගොඩ නගාගන්න  හෝ අඩුම තරමින් ඇයගේ අවධානය දිනාගැනීමට, සිනහවකින් සංග්‍රහ ලැබීමට වගේ ආශාව නිසයි.

ගෑණු ළමයි, පිරිමි ළමයි වෙන්කොට තැබිම සදාචාරාත්මකව හොඳයි යන අදහස නිසා මේ වෙන් කිරීම සිදුවන්නට ඇති අතර තවමත් මේ හනමිටි අදහස හිස්මුදුනින්ම ක්‍රියාත්මක වෙනවා. මේ නිසා ගැහැණු ළමයි හා පිරිමි ළමයි අතර විශාල ලිංගික පීඩනයක් ගොඩනැගෙන අතර එකිනෙකා කෙරෙහි අනවබෝධය හා අසංවේදී භාවය වර්ධනය වනවා. 

මේ විධියට අස්වාභාවිකව, බලෙන් වෙන්කරලා තියෙන ගෑණු ළමයි හා පිරිමි ළමයි පාසැලෙන් පිටතදී, එනම් අමතර පංතිවලදී, බස් එකේ/කෝච්චියේදී, උසස් අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාලවලදී එකට එකතු වුනහම ගින්දරයි පුලුනුයි එකට තිබ්බා වගේ විනාශකාරී දේවල්  වෙනවා.

ජීවිත හානි එතරම් නැතිවුනත්, තර්ජනය කිරීම, ලිංගික පීඩා කිරීම්, පැහරගෙන යාමට තැත් කිරීම් නැතහොත් ඒ බවට තර්ජනය කිරීම්, සමාජ ජාලා හා වෙනත් ඉලෙක්ට්‍රොනික මාර්ග භාවිතයෙන් සිදුකරන චරිත ඝාතන, විවාහ හා විවාහ යෝජනා කඩාකප්පල් කිරීම් වගේම ඉච්ඡාභංගත්වයට පත්වී උසස් අධ්‍යාපනය (සමහරවිට සාමාන්‍ය පෙල හෝ උසස් පෙල පවා) කඩා කප්පල් කරගැනීම් වගේ බොහෝ නරක හා හානිකරදේවල් සමාජය තුල සිදුවෙනවා. මේ වගේ දේවල්වලින් අවසන් වන පෙම් සබඳතා විෂකුරු පෙම් සබඳතා (toxic love affairs) කියලා හඳුන්වන එකේ වැරැද්දක් නෑ කියලා හිතනවා.

මේ හානිකර හැසිරීම් බොහොමයකට හේතු; 

1]  හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමුන් ගැන උනන්දුවක් දක්වන පලමුවැනි විරුද්ධ ලිංගිකයා සමගම පෙම් සබඳතා ඇතිකරගැනීම. සමහර වෙලාවට මිස් කෝල් එකකින්, එස්.එම්.එස්, ෆේස් බුක් මැසේජ් වලින් හඳුනාගත් සල්ලාලයින් හා හාදවි වැඩ වරද්දාගත් ලාබාල යුවතියන් සිටිනවා.

කුඩාකල සිටම විරුද්ධ ලිංගිකයින් ගෙන් වෙන්කොට තැබීම නිසා ඇතිවන අනවබෝධය හා විශාල ලිංගික පීඩනය නිසා තමන් ගැන උනන්දුවක් දක්වන පලමුවන ගෑණු ළමයා හෝ පිරිමි ළමයා සමග යාලුවෙන සම්භාවිතාවය ඉතා වැඩියි. 

සමහර වෙලාවට විශාල වයස් පරතරයන් ඇති අය, විවාහකයින්, විවිධ අපචාරවලට පුරුදුවූවන් හා පමණට වඩා මත්පැන්, දුම්වැටි ප්‍රසිද්ධියේ භාවිතා කරන්නන් සමග වුනත් මෙම සබඳතා ඇති කරගන්නේ මේ පීඩනය හා අනවබෝධය නිසා ඇතිවන ළාමක බව නිසායි.

2] පෙම් සබඳතා බිඳ වැටුනවිට, ජීවිතය ඉදිරියට ගෙනයාමට මානසික සමබරතාවය නොමැතිවීම 

පෙම බිඳවැටීම පෙම්වතිය/පෙමවතා අතහැර යාම, වෙන අයෙකු සමග කුළුපගවීම, විවාහවීමට යාම යනාදී කරුණු ජීවිතය එපා වීමට, අනෙකා ගේ ජීවිතය නැති කිරීමට, ගැටුම් වලට යාම, මත්පැනට, මත් ද්‍රව්‍යවලට යොමුවීම, අධ්‍යාපනය, රැකියාව එපාවීම යනාදී බොහොමයකට හේතුව ලාංකික තරුණ ප්‍රජාව තුල ඇති නොමේරූ අදහස් හා ජීවිතය පිලිබඳව ඇති අනවබෝධයයි. උදේ සිට රෑවෙනකන් හැම නාලිකාවකම බණ කිව්වත්, තරුණ තරුණියන් අතර ජීවිතය පිලිබඳව අවබෝධය ඇති කර හැකි වැඩසටහන් හිඟයි. ඒවෙනුවට කාළය කන (කාළකණ්නි), නිසරු, මිත්‍යා අදහස් හා දුරාචාර වපුරන ටෙලිනාට්‍යවලින් පිරිලා.

3] පෙම් සබඳතාවයට ඉදිරියක් / අනාගතයක් නොමැති බව (හේතුව කුමක් වුවත්) අවබෝධ කර නොගෙන එහි එල්ලී සිටීම

මේ හේතුව වලින්, පලමුවන හා දෙවන හේතු පිලිබඳව වෙනත් ලිපියකින් කතා කරන්නට අදහස් කරන අතර මෙම ලිපියෙන් තුන්වන කරුන, එනම් බිඳීයාමට ආසන්න පෙම් සබඳතාවයක අණතුරු ලකුණු, නැතිනම් සොහොන් ලකුණු පිලිබඳව යමක් කියන්න අදහස් කරනවා. 

මේ සොහොන් ලකුණු හඳුනාගෙන ඉදිරියට විෂකුරු වියහැකි පෙමකින් නැතිනම් කඩාවැටෙන පෙම් යානාවෙන් ගැලවිලා යන්න ඉගෙන ගන්න අපේ තරුණ තරුණියන් යම් අවබෝධයක් ලබාගත්තොත් එයාලට වගේම මේ වගේ කරදර වලදි විඳවන එයාලගේ දෙමව්පියන්ටත් හොඳයි.

ප්‍රේම යානාව කඩාවැටෙන්නට ආසන්න බව පෙන්වන සොහොන් ලකුණු | Signs that you love life is about to crash and burn. 

1. ඩෝන්ට් කෙයා

එයා ඉස්සර තරං හොඳින් කතා නොකරනවානං, ඔයා දෙයක් කිවුවට එච්චර ගනං නොගන්නවානං පොඩි දෙදරීමක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. එක්කො එයාගෙ හිත වෙනස් වෙලා. නැත්තං ඔයාගෙ අතින් වැරැද්දක් වෙලා. ඔයාගෙ අතින් වැරැද්දක් වෙලා නං දාලා යන එක හරි නැහැ. ඒත් එයාගෙ හිත වෙනස් වෙලා නං දාලා යන එක හොඳයි. හිත හරියනකං බලන් හිටියත් අනාගතේදිත් ඒ තත්ත්වෙම ආයිත් ඇති වුනොත් ඔයාට අපරාදෙ කියල හිතෙයි.

2. නොරිස්සුමක්

එයාට ඔයා කරන හැම දේ ගැනම නොරිස්සුමක් තියෙනවනං මොකක් හරි ඇහුවමත් උත්තර දෙන්නේ තරහින්, නැතිනම් ගස්සලානම්. එහෙම නැතිනම් අනෙක් අය එක්ක හොඳට කතා කරන අතරේ ඔයා මොනවහරි ඇහුවම, මොනවා හරි දෙයක් කරමු කියලා කිව්වම වදයක්, කරදරයක් වගේ පෙන්වනවද? එහෙනම් වැඩේ නරක අතට ගිහින්. ඉස්සර තිබුණු ආදරය, බැඳියාව දැන් නැහැ කියන එක තහවුරු කරගන්න මීට වඩා හොඳ සළකුණක් (සොහොන් ලකුණක්) තවත් නෑ. දැන් එයාට ඔයා වදයක්, බාදාවක් විතරයි.

ඒ නිසා අතෑරලා දාන එක එයාටත් ඔයාටත් හොඳයි. සමහරවිට එයාට කියාගන්න බැරුව ඉන්නවා ඇති.‍ ඒ නිසා ඔයා කරන හැම දේකම එයාට අඩුවක් පේනවනං හිතින් විඳව විඳව ඉන්නවට වඩා මේ දේ තේරුම් බේරුම් කරගෙන අතෑරලා යන එක හොඳයි

4. අයි ඩෝන්ට් ලයික් දැට්

ඔයා එයා කරනවට අකමැති දේවල් ටික එයා ආයිත් කරන්න පටන් අරගෙනද? ඔයාගේ පර්සනල් දේවල් හාරඅවුස්සනව, ඔයාගෙ හෝ එයාගෙ අතීතෙ ගැන ආයි ආයිත් කියවනව වගේ දේවල් වෙනවනං එයා ඔය හදන්නෙ ඔයා‍ට කියවලා රණ්ඩුවක් පටන්ගන්න. පටන් අරගෙන රණ්ඩුවෙලා තරහවෙන්න, ඈත්වෙන්න, එහෙම ඈත් වෙන එක සාධාරණීකරනය කරන්න (යාලුවන්නට පිලිගන්න පුලුවන් දෙයක් කියන්නත් එපෑ) පොටක් පාදගන්න. 

උදාහරණ 

- පෙම්වතිය ඔයා අකමැති විධියට (ඒ බව දැන දැන) ආයෙත් අඳින්න පටන් අරගෙනද? හෙයා ස්ටයිල්, මේක්-අප් ඔයා අකමැති විදියට කරනවද? ඉස්සර ඔයාට නොකියා වොෂ්-රූම් වත් යන්නෙ නැති කෙනා දැන් යාලුවෝ එක්ක ඔයාට නොකියා ගමන් බිමන් යනවද?  

- පෙම්වතා ඔයාගෙ කීම අහලා නවත්තපු සිගරට් එක දැන් ඔයාට පේන්නම කටේද? ඉස්සර යාලුවන්ට බෑ කියලා ඔයා එක්ක ආපු කෙනා දැන් යාලුවෝ එක්ක නිතරම සෙට් වෙනවද? ඔයා අකමැති ගෑණු ලමයි (ඔයාගේ තරහකාරියන්) සමග හිතවත් වෙලා වගේ පේනවද?

මේ ගැටේට අහුවෙන්න එපා. රන්ඩුවෙලා ප්‍රශ්ණ ඇති කරගන්න එපා හොඳට හිතලා බලලා කතාකරලා ඔයා එයාව දාලා යන්න.

5. හීස් ද බෙස්ට් / ෂී ඉස් සෝ හොට්

එක දිගටම වෙනිං කවුරුහරි ගැන හොඳ කියනවද?එයාව දකින්න බැරි වුන එක ගැන දුක් වෙනවද? මේක කරන්න හේතු දෙකක් තියෙන්න පුළුවන්. 

එකක් ඔයාගෙ හිතේ ඉරිසියාවක් හදවන්න. කෙල්ලෝ මේකට දක්ෂයි. අරමුණ ඒකනම් එයාලා සීමාව දැනගෙන කරන්නේ. ඔයාව නැතිවෙන තරමට ඒක දුර ගෙනියන්නේ නෑ. කොල්ලොත් කෙල්ලන්ව අඬවලා ආදරේ බලන්නත් මේවගේ දේවල් කරනවා.

එහෙම නෙමේ කියලා තහවුරු වෙනවා නම් ඇත්තටම ඔයාට වඩා එයාට කැමති හින්දා. නැතිනම් ඔයාට වඩා හොඳ අය එයාට ඉන්න බව පෙන්වන්න. ඒ හින්දා කෙලින්ම එයාගෙන් අහන්න මට වඩා එයාට/ඇයට කැමතිද කියල. නෑ නං කටවහගෙන ඉන්න කියන්න. ඔවුනං දැන්මම යන්න කියන්න.

තීරණයක් ගන්න ඉඩදීලා ඈත්වෙලා ඉන්න. 

6. එයා කියන ඒවා හරිම ෆනී / හරිම ස්වීට්

පෙම්වතිය වෙන එකෙක් කියන ඒවාට (ෆනී නැතිවුනත්) ගොඩක් හිනා වෙනවද, කියන කියනදේ හරි වැදගත් වගේ ගන්නවද? ඒ කියන්නේ ටිකට් එක ඇදෙන්නයි යන්නේ. ගෑනු තමුන්ගේ පෙම්වතාට/සැමියාට වඩා වෙන කොල්ලෙක් කියන දේවල් වලට අනවශ්‍ය ඇටෙන්ෂන් දෙනවානම්, හොඳින් දෙතුන් පාරක් කියන්න. නැවතෙන්නේ නැත්නම් ඌ එක්ක පල කියලා වෙන අතක් බලාගන්න. 

ගෑණු ළමයින්ටත් එච්චරයි. ඔයාගේ පෙම්වතාට ඉන්න වැදගත්ම, වටිනම ගෑණුකෙනා ඔයා (එයාගෙ අම්මා ඇරුනම) එහෙම නෑ කියලා හොඳට තහවුරු වෙනවානම් කඳුලු බොන්නේ නැතුව ඔයාට ආදරේ කරන්න පුලුවන් කෙනෙක් හොයාගන්න.

මේ ලිපියේ දෙවන කොටස සඳහා Aniwa.lk හි පලවුනු මේ ලිපිය මූලාශ්‍ර වුන බව කෘතඥපූර්වකව සඳහන් කරනවා.
__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments