නියැන්ඩර්තාල් මානවයා පෙනිසිලින් හා ඇස්ප්‍රින් භාවිතය දැන සිටියා ???

නියැන්ඩර්තාල් මානවයා (C)  National Geographic .com

නියැන්ඩර්තාල් මානවයා වේදනානාශක සහ පෙනිසිලින් ප්‍රතිජීවක භාවිතා කර ඇතිබව ඔවුන්ගේ දත් පිළිබඳව කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.

රෝගී නියැන්ඩර්තාල් මානවකයෙක් ඇස්පිරින් රසායනය අඩංගු ශාකයක පොතු සැපීමට හුරුවී සිටි බව එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත. එසේම නූතන ප්‍රතිජීවක ඖෂධ නිපදවීමට බොහෝ කලකට පෙර නියැන්ඩර්තාල් මානවයා පෙනිසිලින් භාවිතා කර ඇති බවක් ද පෙනීයයි.

මෙම සොයාගැනීම සිදුකොට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්, යුරෝපයේ කෞතුකාගාරවල ආරක්ෂාකොට ඇති නියැන්ඩර්තාල් කපාල අස්ථි වල දත් පරීක්ෂාකිරීමෙන්ය. මෙම දත්වල බැඳී තිබූ දත්මැලියම් (dental plaque) විශ්ලේෂණය කිරීමේදී මෙම කරුණු හෙලිවී ඇත.

වසර 40,000 කට පෙර මධ්‍යම යුරෝපයේ ජීවත්වූ නියැන්ඩර්තාල් මානවයන්ගේ දත්වල ඇලී තිබුණු ආහාරකොටස් සහ බැක්ටීරියා වැනි ක්‍ෂුද්‍රජීවීන් අතීතය දෙස එබී බැලීම සඳහා විද්‍යාඥයින්ට කවුළුවක් විවර කර දී ඇත.



දත් මැලියමින් ලබාගත් DNA අනුක්‍රමික පරීක්ෂණයට භාජනය කරමින් පර්යේෂකයන් විසින් අද්‍යතන මානවයාගේ සමීපතම ඥාතීන්ගේ ආහාර, ජීවන රටාව සහ සෞඛ්‍යය පිළිබඳව නව තොරතුරු රැසක් සොයාගනු ලැබ ඇත.

"ඔවුන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ආහාර අපි හිතනවාට වඩා සංකීර්ණ වෙනව වගේම බොහෝ ආකාරවලින් අපට සමානයි" ඇඩලෙයිඩ් විශ්වවිද්‍යාලයේ පැරණි DNA පිලිබඳ ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ඇලන් කූපර් පවසයි.

"මේ නියැන්ඩර්තාල් මානවයා ඔහුගේ දතේ සැරව ගැලීමකට හෝ ආහාරවලට සම්බන්ධ පරපෝෂිතයෙක් නිසා හැදෙන ලෙඩකට හෝ ඔහු විසින්ම බෙහෙත් කරගෙන තියනව. ඔහු වේදනාවෙන් හිටිය වෙන්න පුළුවන්. ඔහු ඇස්පිරින් පොතු සැපීම කරල තියන බව පෙනෙනව. දැන් අපි ඔහුගේ ශරීරය තුළින් පෙනිසිලින් සොයාගෙන තියනව" මහාචාර්යවරයා කියාසිටියි.

DNA පරීක්ෂා

නියැන්ඩර්තාල් මානවයාගේ වම් හකුඇටය මත මේ සැරව රැඳී තිබුණු අතර එහි පරපෝෂිත කොටස් ඉතිරිව ඇති බව සොයාගනු ලැබුවේ දත් මැලියම් වල තිබූ DNA පරීක්ෂා කිරීමෙනි.

විද්‍යාඥයන්ට අනුව නියැන්ඩර්තාල් මානවයාට දත්වල සහ උදරයේ ඇතිවන වේදනා සමනය කළ හැකි ඖෂධ පැළෑටි පිලිබඳ ඉහළ මට්ටමේ දැනුමක් තිබුණු බව පැහැදිලිවේ. ඒ අනුව නවීන වේදනා නාශක නිෂ්පාදනයට බොහෝ කලකට පෙර පටන් ඔවුන් වේදනා නාශක භාවිතා කළ බවට සාධක ලැබේ.

"ඔවුන් වේදනා නාශක භාවිතා කිරීම විස්මයජනක දෙයක්. මොකද? අපි පෙනිසිලින් නිෂ්පාදනය කරන්නත් ඉස්සර, විශේෂයෙන්ම අවුරුදු 40,000 කට කලින් ඔවුන් ඒවා භාවිතා කරලා තියනව" යනුවෙන් මහාචාර්ය කූපර් වැඩිදුරටත් පවසයි.

මෙම සමීක්ෂණය මගින් නියැන්ඩර්තාල් මානවයාගේ අහාර පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලැබී ඇත. බෙල්ජියමේ ගුහාවක් අසළින් සොයාගත් නියැන්ඩර්තාල් මානවයන්  රයිනෝසිරස් සහ බැටළුමස් හතු සමග ආහාරයට ගෙන ඇති බව හෙළිවේ. ස්පාඤ්ඤයේ දකුණු පෙදෙසේ ජීවත්වූ අනෙකුත් කණ්ඩායම් වැඩිවශයෙන් මාංශ රහිත ආහාර ගෙනඇති අතර බොහෝ විට පාසි, පොතු සහ පයින් ගසේ ඇට ආහාරයට ගෙන ඇත.

විදුරුමස් ආශ්‍රිත රෝග

DNA සාක්‍ෂි සහ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අතර පරස්පරතාවයක් පෙන්වමින් නියැන්ඩර්තාල්වරු හිම වලසුන් සහ වෘකයන් මෙන් මස් අනුභව කළ බවද හෙළිවේ. ආහාරය මූලික වශයෙන් පිනි මුවන්, ලොම් සහිත මැමත්, සහ ලොම් සහිත රයිනෝසිරස් වැනි සතුන් වූ බව සොයාගෙන ඇත.

නියැන්ඩර්තාල් මානවයන්ගේ මුඛයෙන් සොයාගත් බැක්ටීරියා පරීක්ෂාවට ලක්කරන විද්‍යාඥයෝ කාලයත් අනුව වෘක්‍ෂලතාවල විකාශනය අධ්‍යයනය කරමින් සිටිති. එහි එක් අදියරක් ලෙස වඩාත් පැරණි ක්‍ෂුද්‍රජීවී ජානමය සංඝටක ආධාරයෙන් විදුරුමස් ආශ්‍රිත රෝග වලට හේතුකාරකවූ අවරුදු 48,000 ක් පැරණි බැක්ටීරියා ප්‍රතිනිර්මාණය කළ බව පවසති.

මීට අමතරව පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට ආදිමානවයින්ගේ මුඛයේ ඇති බැක්ටීරියා සහ ඔවුන් ආහාරයට ගත් මාංශ ප්‍රමාණය අතර සබඳතාවක් පවතී.

"අතීතයට විවරවූ මේ අසාමාන්‍ය කවුළුව මිනිසාගේ පරිණාමය පිළිබඳව නව ආකාරයෙන් විමසා බලා තේරුම් ගැනීමට අවස්ථාව සලසනවා. අප සමග ජීවත්වූ අදටත් ජීවත්වන ක්ෂුද්‍රජීවී කොටස් මාර්ගයෙන් එය කළ හැකිව තිබෙනවා" යනුවෙන් අදාළ අධ්‍යයයනයට දායක වන පර්යේෂකයෙකු වන ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කීත් ඩොබ්නි පවසයි.

යුරෝපයේ සහ නිරිතදිග ආසියාවේ සිට මධ්‍යම ආසියාව දක්වා භුමි ප්‍රදේශවල නියැන්ඩර්තාල් මානවයින් ජීවත්වූයේ වසර හාරලක්ෂයක(400,000) සිට හතළිස් දහසක (40,000) තරම් ඈත කාලයේදීය. නියැන්ඩර්තාල් මානවයන් පිලිබඳ නව තොරතුරු ඇතුලත් ඉහත කී පර්යේෂණය පිළිබඳ වාර්තාව පළවන්නේ 'නේචර්' සඟරාවේය.

Source: http://www.bbc.com/sinhala/world-39242353

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments