FILM : Alien Covenant හා ඒලියන් ප්‍රබන්ධමය විශ්වයේ අවස්ථා සම්බන්ධය













ඒලියන් චිත්‍රපට මාළාව මුල ඉඳන්ම බලලා තියෙන අය ලංකාවේ අඩු ඇති. පලමුවෙනි ඒලියන් චිත්‍රපටය ආවේ 1979 තරම් ඈතදී. ලංකාවේ පෙන්නුවෙත් නෑ. එහි දෙවැනි කොටස වන ඒලියන්ස් චිත්‍රපටය එන්නේ 1986දී. ඒලියන්ස් 3 එන්නේ 1992දී ඊට පස්සේ ඒලියන් රිසරෙක්ෂන් චිත්‍රපටය 1997දී තිරගත වෙනවා. 2012දී ප්‍රොමීතියස් එලි දැක්වෙන අතර 2017දි තමයි අලුත්ම ඒලියන් චිත්‍රපටය වන ඒලියන් කොවෙනන්ට් එලි දකින්නේ.


චිත්‍රපට නිෂ්පාදනයේ හා එලි දැක්වීමේ අනුපිලිවෙල මෙහෙම වුනත් මේ චිත්‍රපටවල කථාවස්තූන් එකිනෙකට සම්බන්ධ වන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒලියන් වෘතාන්තයේ නැතහොත් ඒලියන් කථාමාළාව දිගහැරෙන ප්‍රබන්ධමය විශ්වයේ දිනවකවානු අනුව මේ චිත්‍රපට එකිනෙකට සම්බන්ධවන අනුපිලිවල සොයා බලමු.

ඒලියන් ප්‍රබන්ධමය විශ්වයේ ආරම්භය - ක්‍රි. වර්ෂ 2093 - Prometheus (2012)

ඒලියන් ප්‍රබන්ධමය විශ්වය (fictional universe) තුල, මානවයා හා සෙනෝමෝර්ෆ් නමින් හැඳින්වෙන කුරිරු පිටසක්වල ජීවියා අතර හමුවීම සිදුවන්නේ ප්‍රොමීතියස් කථාවෙන්. එය ආරම්භවන්නේ "ඉන්ජිනියර්ස්" නැමති මානවරූපි පිටසක්වලයෙක් සිය සිරුරේ ජීවධාතු එක්තරා ග්‍රහලොවකට එකතුකරමින් (මෙය ඈත අතීතයේ පෘථිවිය විය හැකියි) එහි ජීවය හටගැනීම සඳහා අඩිතාලම දමන අයුරු පෙන්වමිනුයි.

ඒ අනුව පෘථිවියේ ජීවය ඇතිකරන්නේ ඉන්ජිනියර්ස් ලෙස හඳුන්වන, ඉතා පැරණි, සුපිරි බුද්ධියකින් යුතු, මානවරූපි එහෙත් මිනිසාට වඩා ප්‍රමාණයෙන් විශාල, සුපිරි තාක්ෂණයක් බිහිකරගත් පිටසක්වල ජීවීන් පිරිසක් විසින්ය යන කල්පිතය  ඒලියන් ප්‍රබන්ධමය විශ්වයේ ප්‍රධාන තේමාවක් වනවා.

ඉන්පසු 2089 වසරට පිවිසෙන ප්‍රබන්ධයේ එලිසබත් ෂෝ හා චාල්ස් හොලොවේ යන පුරාවිද්‍යාඥයින් දෙදෙනා තාරකාසටහන්ද සහිත ගුහා චිත්‍ර කිහිපයක් සොයා ගන්නවා. එකිනෙකා අතර කිසිදු සම්බන්ධකමක් නොතිබූ පෞරාණික මානව ශිෂ්ඨචාර කිහිපයක් වෙනස් කාළ වකවානුවල අඳින ලද මේ ගුහා චිත එකහා සමාන වීමත්, ඒවායින් විශ්වයේ එක්තරා ස්ථානයක් තාරකා සටහන් පෙන්වීමත් නිසා ඈත අතීතයේදී පෘථිවියට පැමිණි පිටසක්වලයින් (ඉන්ජිනියර්ස්) මේ මානව ශිෂ්ඨාචාර සමග සබඳකම් පැවැත්වා ඔවුන් පැමිණි ග්‍රහලෝකය සොයාගත හැකි ලෙස මේ සටහන් තබා යන්නට ඇතැයි ඔවුන් කල්පිතයක් ගොඩනගනවා.

යුටානි-වේලන්ඩ් නම් අතිවිශාල බහුජාතික සමාගමේ හිමිකරුවන ප්‍රකෝටිපති පීටර් වේලන්ඩ්,  ෂෝ හා හොලොවේ යන දෙදෙනාගේ කල්පිතය පිලිගන්නා අතර ඉන්ජිනියර්ස් ලෙස හඳුන්වන පිටසක්වලයින් තාරකා සටහනේ දක්වා තිබූ LV-223 ලෙසින් හඳුන්වන විශාල චන්ද්‍රයා වෙත ගවේෂණ චාරිකාවක් සූදානම් කරනවා. එම ගවේෂණය යන විශාල අභ්‍යවකාශ යානාව ප්‍රොමීතියස් ලෙස නම් කෙරුනා.

2093 වසරේදී ඔවුන් LV-223ට ලඟාවන අතර ඒලියන් ප්‍රබන්ධය නිළවශයෙන් ආරම්භ වන්නේ 2093 වසරේදියි.
LV-223ට ගොඩබසින ඔවුන්ට කෘත්‍රිමව නිර්මාණය කරන ලද අතිවිශාල ගොඩනැගිල්ලක් හමුවන අතර එය තුලදි ඉන්ජිනේරුවන් ලෙස හඳුන්වන විශාල මානවරූපී පිටසක්වලයින්ගේ සිරුරු හමුවන අතර යම් ආකාරයක ප්‍රහාරයක් නිසා ඔවුන් මියගොස්  තිබෙන හැටි දකින්නට ලැබෙනවා.

මෙම ගවේෂණයට එක්ව සිටින (මෙන්ම අනෙකුත් ඒලියන් චිත්‍රපටවලද එන චරිතයක් වන ) ඩේවිඩ් නම් මානවරූපී කෘත්‍රිම බුද්ධි රොබෝවා (android/cybernetic organism) ස්ටාසිස් නම් දීර්ඝකාලීන නිද්‍රාවට පත්ව සිටින ඉන්ජිනියර් පිටසක්වලයෙකු සොයාගන්නා අතර එම පිටසක්වලයා නිදාසිටින පාලන මැදිරියේ පෘථිවිය විශේෂිත ලෙස සළකුණු කොට ඇති තාරකා සිතියමක් ද සොයා ගැනෙනවා. 

මේ අතර ගවේෂණයට මූල්‍යමය දායකත්වය දැක්වූ පීටර් වේලන්ඩ්ද ප්‍රොමීතියස් අභ්‍යවකාෂ යානයේ රහසිගත කොටසක ස්ටාසිස් නිද්‍රාවේ යෙදෙමින් ගමනට සහභාගීවී ඇතිබව හෙලිවනවා. ඔහු මේ ගමන පැමිණ ඇත්තේ සිය වියපත් බවෙන් මිදී සදාකල් ජීවත්විය හැකි අමණීයත්වය ලබාගත හැකි තාක්ෂණයක් ඉන්ජිනේරුවන්ගෙන් ලබාගත හැකිවනු ඇතැයි විශ්වාසයෙන්.

මේ අතර පිටසක්වල ගොඩනැගිල්ලේ ගබඩාකොට තිබූ කළුපැහැති කළුතෙල් වැනි ද්‍රාවණයක් කණ්ඩායමේ විවිධ සාමාජිකයින්ගේ සිරුරු තුලට ඇතුලුවී ඔවුන් වියරු වට්ටමින් විකෘති පරිවර්තනයකට ලක් කරනවා. 

ප්‍රොමීතියස් යානාවයේ අණදෙන නිළධාරී කපිතාන් ඉඩ්‍රිස් ජැනෙක් මේ කළුතෙල් වන දියරය ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කොට, පසුව ඔවුන්ටම පාලනය කරන්නට නොහැකිව ඔවුන්ව විනාශකල බියකරු ජෛව අවියක් වියහැකි බවට කල්පිතයක් ඉදිරිපත් කරනවා.

මේ අතර පීටර් වේලන්ඩ්, ඩේවිඩ් ඇන්ඩ්‍රොයිඩයා හා තවත් පිරිසක් ස්ටාසිස් නිද්‍රාවේ සිටින ඉන්ජිනියර් පිටසක්වලයා අවදිකරවනවා. අවදිවූ පිටසක්වලයා ක්ෂණයකින් ඩේවිඩ් ඇන්ඩ්‍රොයිඩයාගේ හිස කඳින් වෙන් කරන අතර මහළු වේලන්ඩ්ව මරා දමනවා. ඉන්ජිනියර් පිටසක්වලයා මෙලෙස ක්‍රියාකරන්නේ ඇයිදැයි එතරම් පැහැදිලි නැතත්, හිස කඳින් වෙන්වූවත් තවමත් ක්‍රියාත්මක ඩේවිඩ් ඇන්ඩ්‍රොයිඩයා, ඉන්ජිනියර් පිටසක්වලයා මෙම කළුතෙල් වන් ජෛව අවිය රැගත් යානාවක් පෘථිවිය වෙත යැවීමට සූදානම් වන බවට අණතුරු අඟවනවා. 

තමා අවධිකල සියලුදෙනාටම පහරදී මරාදමන ඉන්ජිනියර් පිටසක්වලයා අභ්‍යවකාශ යානයකින් පලායනවා. ඩේවිඩ් ඇන්ඩ්‍රොයිඩයාගේ අණතුරු ඇඟවීමට අනුව පලායන ඉන්ජිනියර් පිටසක්වලයා මේ භයානයක ජෛව අවිය පෘථිවිය මත නිදහස් කරතැයි අනුමාන කරන එලිසබත් ශෝ (පෘථිවියේදී ඉන්ජිනියර් තාරකා සටහන් සොයගත්තේ එලිසබත් හා ඇයගේ සහකරු හොලොවේ විසිනි. හොලොවේ කළුද්‍රවය ආසාදනය වී දරුණු මරණයකට ගොදුරුවිය ) එය කෙසේ හෝ නවත්වන ලෙස ප්‍රොමීතියස් යානාවේ අණදෙන නිළධාරී ඉඩ්‍රිස් ජැනෙක්ට බැගෑපත්වෙයි. 

ඉඩ්‍රිස් ජැනෙක් ප්‍රොමීතියස් යානාව ඉන්ජිනියර් යානාවේ හප්පා එය නැවත LV-223ට කඩාවැටෙන්නට සලස්වයි. ප්‍රොමීතියස් ගවේෂණ කණ්ඩායමෙන් දිවිගලවා ගන්නා එකම තැනැත්තා වන එලිසබෙත් ශෝ තවමත් ක්‍රියාත්මක ඩේවිඩ් ඇන්ඩ්‍රොයිඩයාගේ කොටස්ද සමග LV-223 මත තිබූ වෙනත් ඉන්ජිනියර් යානාවක් පණගන්වාගෙන මානවයින් ඉන්ජිනියර් ලෙස හඳුන්වන පිටසක්වලයින්ගේ මව් ග්‍රහලොව සොයා පිටත්වෙයි. ඇයගේ අරමුණ ඉන්ජිනියර්වරුන් පෘථිවියේ ජීවය ඇතිකොට දැන් එය විනාශ කිරීමට තැත්කරන්නේ ඇයිදැයි සොයාගැනීමයි.

ක්‍රි. වර්ෂ 2104 - Alien : Covenant (2017)

 Spoiler Alert !!!!

දැන් තිරගත වන චිත්‍රපටයක් නිසා වැඩි විස්තර පවසා ඔබගේ රසවින්දනයට බාධා නොකරන අතර කෙටියෙන් පවසන්නේ නම්;

කොවෙනන්ට් ආරම්භ වන්නේ ප්‍රොමීතියස් ගවේෂණයට පෙර පීටර් වේලන්ඩ් සිය අලුත්ම නිර්මාණය වූ ඩේවිඩ් ඇන්ඩ්‍රොයිඩයා හා සිදුවන දෙබසකිනි. "අනාගතයේ යම් දිනෙක අප දෙදෙනා මිනිස් වර්ගයාගේ නිර්මාපකයින් සොයා යනවා..." පීටර් වේලන්ඩ් සිය ඇන්ඩ්‍රොයිඩ සහයක ඩේවිඩ්ට පවසයි.

2104වසරේදී වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන මිනිසුන් දහස් ගණනක් රැගත් කොවෙනන්ට් නම් අභ්‍යවකාශ යානයකට අතරමගදී මිනිස් කටහඬින් එන උදව් ඉල්ලීමේ පණිවුඩයක් ඇසෙයි. එම පණිවුඩය එන සංඥාව ඔස්සේ යන කොවෙනන්ට් කණ්ඩායමට පෘථිවිය වැනිම ග්‍රහලෝකයක් හමුවේ. එම ග්‍රහලොවට ගොඩබැස සංඥාව ලැබූ ස්ථානය සොයා යන ඔවුන්ට විනාශවූ නගරයක් හා දහස්ගණනනින් මියගිය ඉන්ජිනියර් පිටසක්වලයින්ගේ සිරුරු හමුවේ. ඒ අතර ඔවුන්ට සෙනෝමොර්ප් සතුන්ගේ ප්‍රහාරයකට බඳුන්වේ. එහිදී ඔවුන්ට සහයට එන්නේ ප්‍රොමීතියස් ගවේෂණයේදී දිවිගලවාගත් ඩේවිඩ් ඇන්ඩ්‍රොයිඩයායි.

ඩේවිඩ් ඇන්ඩ්‍රොයිඩයා මුලින් පවසන්නේ ඔවුන් ගමන්කල ඉන්ජිනියර් යානයේ තිබී වැරදීමකින් මෙම ග්‍රහලොවට කළු දියර ජෛව අවිය නිදහස් වුනු බවත්  එයින් හටගත් සෙනෝමෝෆ් සතුන් මෙම ඉන්ජිනියර් පිටසක්වලයින්ගේ ලෝකය වනසා දැමූ බවත්ය. 

කෙසේ වෙතත් පසුව හෙලිවන්නේ මෙම ලෝකයට කළු ද්‍රාවණය නිදහස් කරන්නේ ඩේවිඩ් විසින් බවයි. ඔහු LV-223 දී සොරෙන් ලබාගත් කළු ද්‍රාවණ කැනිස්ටරයක් මේ ලෝකයට මුදා හැර ඇති අතර එලිසබෙත් ෂෝව මරාදමන්නේද ඩේවිඩ් විසිනි.  ඒ අතරම ඩේවිඩ් ඇන්ඩ්‍රොයිඩයා විසින් මෙම ග්‍රහලෝකයේදී සෙනෝමෝර්ෆ්, ඉන්ජිනියර් හා මානව කළල ආධාරයෙන් විවිධ පර්යේෂණ කර ඇති බවද හෙලිවේ.

රොබෝවෙකු වන ඩේවිඩ් මෙලෙස ඉන්ජිනේරු පිටසක්වලයින්ගේ ලොව වනසා දමන්නේ ඇයි, එලිසබත් ෂෝව මරා දැමුවේ ඇයි, සෙනෝමෝර්ෆ් සතුන් බිහිකරන්නට උත්සහ කරන්නේ ඇයි යන ගැටලුවලට කොවෙනන්ට් චිත්‍රපටයෙන් පිලිතුරු නොළැබේ.

ක්‍රි.ව 2122 - Alien (1979)

වසර 2122දී තේඩස් නම් ග්‍රහලෝකයක සිට පෘථිවියට යබොර ටොන් මිලියන 20ක් ප්‍රවහණය කරන අතරම වානේ හා වෙනත් ලෝහ නිෂ්පාදනය කරන නොස්ට්‍රෝමෝ නම් කර්මාණ්තශාලා අභ්‍යවකාශ යානයකි. මෙය අයත් වන්නේ යුටානි-වේලන්ඩ් සමාගමටයි.

අතර මගදී තේරුම්ගත නොහැකි සංඥාවක් ලැබෙන අතර එය සොයාගෙන යන්නට කණ්ඩායම තීරණය කරන්නේ අභ්‍යවකාෂ ගමන්වලදී ලැබෙන උදව් ඉල්ලීමේ සංඥා වලට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිපත්ති වලට අනුවයි. මේ සඳහා යානයේ විද්‍යාඥයා (science officer) ලෙස කටයුතු කරන ඈෂ් නම් ඇන්ඩ්‍රොයිඩ රොබෝවා සහය දෙයි.

සංඥාව එන කුඩ ග්‍රහලොවකට ගොඩබසින ඔවුන්ට එම සංඥාව එන්නේ එහි කඩාවැටුනු ඒතා ඉතා පැරණි බව පෙනෙන පිටසක්වල යානයකින් බව හෙලිවේ. යානාව තුල සිටින මානව රූපි, එහෙත් විශාල පිටසක්වලයාගේ පපුවේ විශාල කුහරයක් ඇති බව පෙනෙන අතර යමක් පපුව කඩාගෙන එලියට පැන්නාක් මෙන් දිස්වෙයි.

නොස්ට්‍රෝමෝ යානයේ කෘත්‍රිම බුද්ධි පරිගණකය, මෙම ගුවන්විදුළි සංඥාව උදව් ඉල්ලීමේ පණිවුඩයක් නොව පිටසක්වල භාශාවකින් කියැවෙන අණතුරු ඇඟවීමේ පණිවුඩයක් බව තේරුම් ගනී.

මේ අතර කණ්ඩායම බිත්තර මෙන් පෙනෙන අතිවිශාල ගෝලාකාර වස්තූන් රාශියක් තිබෙන ස්ථානයක් සොයාගනී. ඉන් එක් බිත්තරයකින් එලියට පනින නම් සෙනෝමෝෆ් ජිවියාගේ ජීවන් චක්‍රයේ පිලවා වැනි සත්වයෙක් කණ්ඩායමේ එක් අයෙකුගේ මුහුණ වෙලා ගනී. ඔහුව නොස්ට්‍රෝමෝ යානයට ගෙන යන අතර එම පිලවා මගින් ඇතුලු කරන සෙනෝමෝර්ෆ් ජීවියා එම පුදගලයාගේ පපුව පලාගෙන එලියට පනී.

පසුව හෙලිවන්නේ යුටානි-වෙලන්ඩ් සමාගම මෙම කඩාවැටුනු පිටසක්වල යානය ඇති ග්‍රහලොව වෙත මෙම කණ්ඩායම නොදැනුවත්වම යැවීමට කුමණ්ත්‍රණයක් සිදුකොට ඇති බවත්, එම කුමණ්ත්‍රණය මෙහෙයවීම කණ්ඩායමේ විද්‍යාඥයා ලෙස කටයුතු කරන ඈෂ් නම් ඇන්ඩ්‍රොයිඩයාව යොදාගෙන ඇති බවත්ය. ඇන්ඩ්‍රොයිඩයාට ලබාදී ඇති අණ වන්නේ කෙසේ හෝ සෙනෝමොර්ෆ් කළලයක් නැවත් පෘථිවියට රැගෙන එන ලෙසයි.

මෙම කතාව අවසන දිවි ගළවා ගන්නේ සිගෝනි වීවර් පණපොවන එලන් රිපිලි නම් අරක්ෂක නිළධාරිණිය පමණකි. නොස්ට්‍රෝමෝ යානය සෙනෝමෝර්ෆ් ජීවියා හා ඈෂ් ඇන්ඩ්‍රොයිඩයාද සමග විනාශ කරන රිප්ලි කුඩා දිවිගලවා ගැනීමේ යානාවකට ගොඩවී නැවත පෘථිවිය බලා පිටත්වේ. ඇය ස්ටාසිස් නිද්‍රාවට පත්වන අතර ඇයගේ කුඩා යානාව නැවත සොයා ගන්නේ වසර 57කට පසුව 2179 වසරේදීය.

ක්‍රි. වර්ෂ 2179 - Aliens (1986)

ඒලියන්ස් චිත්‍රපටය ආරම්භ වන්නේ වසර 57ක් අභ්‍යවකාශයේ පාවෙමින් සිටි එලන් රිප්ලිගේ යානාව සොයාගැනීමෙන් පසු ඇය ස්ටාසිස් නිද්‍රාවෙන් අවදිවූ මොහොතේ සිටිය.

ලිපිය අනවශ්‍ය ලෙස දිගුවන නිසා මේ චිත්‍රපට ගැන විස්තර පසුවට කල් තියෙනවා.

ක්‍රි. වර්ෂ 2180 - Alien 3 (1992)
ක්‍රි. වර්ෂ 2386 - Alien Resurrection (1997) 








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments