HISTORY : Ceylon Tea වලට අවුරුදු 150යි!


















තේ පානයේ ඉතිහාසය කෙටියෙන්

කවුරුත් දන්න විධියට තේ පානයේ ආරම්භය චීනයේ සිදුවුනා. පුරාවෘත්තවල තිබෙන විධියට ක්‍රි.පූ 2737 කාළයේ චීනයේ රජකම් කල ෂෙන් නුන්ග් අධිරාජ්‍යයා තමයි තේ පානය ආරම්භකලා කියලා කියන්නේ. ආයූර්වේද වෛද්‍යවරයෙකු වූ ෂෙන් අධිරාජ්‍යයා දිනක් ගසක් යට විවේක ගනිමින් සිය සේවකයා බීමට උණු පැන් සකසන තෙක් සිටියාලු. වතුර පැහෙන්න පටන්ගන්න කොට ෂෙන් අධිරාජ්‍යයාට සෙවන දුන් ගසෙන් කොළ කිහිපයක් පැහෙන ජල මුට්ටියට වැටුනාලු. ආයූර්වේද වෛද්‍යවරයෙකු වූ රජු, එම ගසෙහි කොළ විෂ නොවන බව දැනගෙන සිටි නිසා එම කොළ වැටුනු උණු ජලය පානය කරලා බලන්න සිතුවාලු. ඒ ආයූර්වේද පරීක්ෂණයෙන් පසු චීනයේ තේ පානය ඇරඹුණු බව තමයි කියවෙන්නේ.

මේ පුරාවෘත්තයේ ඇත්ත නැත්ත කොහොම වුනත් ක්‍රි.පූ 206 සිට ක්‍රි.ව 220 කාළයේ චීනය පාලනය කල හාන් රාජ්‍යවංශයේ රජවරුන්ගේ, ප්‍රභූන්ගේ සොහොන් ගැබ්වලින් තේ කොළ දැමූ මංජුසා හමුවෙලා තියෙන නිසා හාන් රාජ්‍ය වංශයකාලයේ චීනයේ ප්‍රභූන් අතර තේ පානය ඉතා ජනප්‍රිය වන්නට ඇතැයි සිතන්න පුලුවන්. තේ ජාතික පානය ලෙස චීනයේ ජනප්‍රිය වන්නට පටන් ගෙන තියෙන්නේ ටැංග් රාජ්‍ය වංශය කාලයේ. ඒ කියන්නේ ක්‍රි.ව 618-906  අතර කාලයේදී. තේ පිලියෙල කිරීම හා තේ පානය ගැනම ලියවුනු පලමු පොත චීන ලේඛක ලූ යූ විසින් රචනා කරන්නෙත් ටැංග් රාජ්‍ය වංශයේ අවසන් කාළයේදී.

තේ පානය චීනයේ ඉඳන් ඉස්සෙල්ලම පැතිරිලා තියෙන්නේ ජපානයට. ඒ ජපානයේ සිට චීනයට අධ්‍යාපන කටයුතු සඳහා පැමිනි ජපන් බෞද්ධ භික්ෂූන්වහන්සේලා තේ පාන පුරුද්ද ජපානයට ගෙනයෑමෙන්. තේ පානය චිරාගත චාරිත්‍රයක් විධියට අදත් ජපානයේ පවතින්නේ මේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා එය ජපානයේ ප්‍රචලිත කල නිසාලු.

යුරෝපීයයන්ගෙන් ඉස්සෙල්ලම තේ පානයට පුරුදුවෙලා තියෙන්නේ චීනය හා නැගෙනහිර ආසියාවේ වෙළඳාම් කල පෘතෘග්‍රීසි වෙළඳුන්. ඔවුන් තේ පානය පෘතුගාලයට හඳුන්වලා දීලා තියෙනවා. එහෙත් පලමු වතාවට යුරෝපයට තේ අපනයනය කරලා තියෙන්නේ පෘතෘග්‍රීසින් නෙමෙයි, පෘතෘග්‍රීසීන්ගෙන් ආසියානු වෙළඳාම අල්ලාගත් ලන්දේසීන් විසින්. 1606දී ජාවා දූපතේ ලන්දේසි වෙළඳමධ්‍යස්ථානයේ ඉඳලා ඕලන්දයට මුල්ම චීන තේ තොගය අපනයනය කරලා තියෙනවා. ඒ කාලේ තේ මිළ අධික නිසා එය ධනවත් යුරෝපීයයන්ගේ පානයක් මිස සාමාන්‍ය ජනයාගේ පානයක් වුනේ නෑ.

බ්‍රිතාන්‍යයට තේ පැමිණිලා තියෙන්නේ තවත් ටික කලක් ගිහින්. බ්‍රිතාන්‍යයේ මුල්ම තේ පැන් ශාලාව විධියට සැලකෙන්නේ ලන්ඩනයේ Sweeting's Rents ප්‍රදේශයේ කෝපි හලක්. ඔවුන් කෝපි වලට අමතරව චීන තේ පැන් විකුණන බවට දැන්වීමක් ලන්ඩනයේ Mercurius Politicus පත්තරේ දාලා තියෙනවා. ඒ 1658 අවුරුද්දේ.

තේ පානය බ්‍රිතාන්‍යයේ මුල්බැසගෙන තියෙන්නේ දෙවන චාල්ස් රජ්ජුරුවන්ගේ කාලයේ. 1642දී බ්‍රිතාන්‍යයේ රජකමට පත් දෙවන චාල්ස් රජු, පෘතෘග්‍රීසි කුමරියක්වූ කැතරීන් කුමරිය හා 1662දී විවාහවුනු අතර ඇය තේ පානයට දැඩි රුචියක් දැක්වූ නිසා, බ්‍රිතාන්‍යයේ රජමාලිගාවේ තේ පැන් සංග්‍රහ පැවැත්වීම ආරම්භවුනා. ඒ සමගම බ්‍රිතාන්‍යයේ ප්‍රභූ පැලැන්තියද රජ පවුල අනුගමනය කරමින් තේ පානයට පුරුදුවුනා.

බ්‍රිතාන්‍යයට චීනයෙන් පලමු තේ රාත්තල් 100ක ආනයනය සිද්ධවෙලා තියෙන්නේ 1664දී, එනම් තේ පැන් ලෝලී කැතරීන් කුමරිය බ්‍රිතාන්‍ය රැජින වී වසර 2කින්. මේ තේ කොළ බ්‍රිතාන්‍යයට අපනයනය කරලා තියෙන්නේ British East India Company සමාගම මගින්.

ලංකාවේ තේ ඉතිහාසය

1800 කාළය වනකොට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්වූ ලංකාවේ ප්‍රධාන අපනයනය වුනේ කෝපි. කඳුකරය පුරා කෝපි වතු තිබූ අතර 1870දී දරුණු ලෙස පැතිරෙන්නට වූ කෝපි කොළ රෝගය නිසා කෝපි වගාව විනාශවී ගොස්, ලංකාවේ ආර්ථිකය දැඩි වියවුලකට පත්වුනා.

ලංකාවට ඉස්සෙල්ලම තේ පැලයක් ගෙනල්ලා පේරාදෙණිය උද්‍යානයේ සිටවලා තියෙන්නේ 1824දී. 1839දී ඇසෑමයෙන් හා කල්කටාවෙන්ද තේ පැල ගෙනැවිත් පේරාදෙණියේ සිටුවා තිබෙනවා. ලංකාවේ පලමු වාණිජ තේ වගාව පටන් අරගෙන තියෙන්නේ ජේම්ස් ටේලර් කියන ස්කොට්ලන්ත ජාතික වැවිලිකරුවා විසින්. ඒ මහනුවරට ආසන්න ලූල්කඳුර වතුයායේදී. 1872දී ටේලර් තේ කර්මාණ්තශාලාවක්ද ලූල්කඳුර වතුයායේදී ස්ථාපනය කල අතර 1873දී ලංකාවෙන් බ්‍රිතාන්‍යයට යැවූ පලමු තේ තොගයවූ රාත්තල් 23ක බන්ඩලයක් බ්‍රිතාන්‍යයට ලඟාවී තිබෙනවා.

ලංකා වාණිජ මණ්ඩළයේ (Ceylon Chamber of Commerce) අනුග්‍රයෙන්, පලමු තේ වෙන්දේසිය 1883 ජූලි 30 වැනිදා පැවැත්වුනා. 1894දී ලංකා තේ වෙළඳුන්ගේ සංගමය (Ceylon Tea Traders Association) ආරම්භවූ අතර 1896දී කොළම තැරැව්කරුවන්ගේ සංගමය (Colombo Brokers' Association) ආරම්භවුනා. 1899 වනවිට ලංකාවේ තේ වගාව අක්කර 400,000ක් පුරා ව්‍යාප්තවී තිබුණා.

මේ කාළය වනවිට බ්‍රිතාන්‍යයන් අත තිබූ තේ වගාවට මහා පරිමාණයෙන් සම්බන්ධවූ එකම ශ්‍රී ලාංකිකයා වූයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු හා දානපතියෙකු වූ චාර්ල්ස් හෙන්රි ද සොයිසා මහතායි. ඔහු යුරෝපීයයන්ට පමණක් සීමාවී තුබූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රථම ලාංකික  සාමාජිකයා ලෙස තෝරාගත් අතර බැංකුවක් (Bank of Kandy) ආරම්භකල පලමු ලාංකිකයාද වනවා. මහා දානපතියෙකුවූ ද සොයිසා මහතා සිය ළමාකාලයේ ගෙවූ මන්දිරයේ ද සොයිසා මාතෲ නිවාසය ආරම්භකලා. මොරටුවේ වේල්ස් කුමර හා කුමරි විද්‍යාලයන්ද ආරම්භවූයේ ඔහුගේ ධන පරිත්‍යාගයෙන්.

1915දී ලාංකික වැවිලිකරු තෝමස් අමරසූරිය මහතා ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ පලමු ලාංකික සභාපතිවරයා වනවා. ධනවත් ව්‍යාපාරික පවුලක සාමාජිකයෙකු වූ තෝමස් අමරසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසුන අතර ඒ පක්ෂයෙන් ඉල්ල අස්වී SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනවිට එහි ආරම්භක සාමාජිකයෙකු වූවා. සිංගර් ශ්‍රී ලංකා, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා එන්.ඩී.බී බැංකුවේ වත්මන් සභාපතිවරයා වන හේමක අමරසූරිය මහතා තෝමස් අමරසූරිය මහතාගේ පුතුන් තිදෙනාගෙන් එක් අයෙක් වනවා.

1927 වනවිට ලංකාවේ තේ නිෂ්පාදනය ටොන් 100,000 ඉක්මවූ අතර මේ සියල්ලම අපනයනයවූ වේ ලාංකිකයින් අතර තේ පානය එතරම් පැතිරී නොතිබූ බැවින්. 1932දී ලංකා තේ ලොවපුරා ප්‍රවර්ධනය සඳහා ලංකා තේ ප්‍රවර්ධන මණ්ඩළය පිහිටවූවා.

1960 දශකය වනවිට තේ ටොන් 200,000ක් දක්වා අපනයනය වර්ධනයවී තිබූ අතර 1965දී ප්‍රථම වතාවට ලංකාව ලෝකය විශාලම තේ අපනයනය කරන රට බවට පත්වූවා.

2000 වසර වනවිට ලංකාවේ තේ අපනයනය මෙට්‍රික් ටොන් 300,000ක් දක්වා වර්ධනය වී තිබූ අතර 2002දී හන්තානේදී ලංකාවේ පලමු තේ පිලිබඳ කටුගෙය (Tea Museum) ආරම්භවූවා.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments