TRUMPcomics : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්ටෙලිජන්ස් අනාගැනිල්ල


ඇමරිකාවෙන් ලැබෙන වාර්තා අනුව ට්‍රම්ප්තුමා අනාගනිමින් සිටී. වයිට් හවුසියම එකම පඹගාලකි. ට්‍රම්ප්තුමාගේ බෑනා මෙන්ම ට්‍රම්ප්ගේ ඇතුලු කවයේ ලොක්කෙකු වන ජරෙඩ් කුෂ්නර් හා ට්‍රම්ප්ගේ හොඳම උපදේශකයා ස්ටීවන් බැනන් දැනටමත් නයාට අඳුකොළ මෙන් බව ඇසේ. 

ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ට ගෙදර යන්න වූයේ ඇමරිකන් චන්ද ප්‍රතිපල වෙනස් කරන්නට රුසියානුවන් සමග කුමණ්ත්‍රණය කල බවට පත්තර වල පලවීමෙනි. එම තොරතුරු පත්තරවලට දුන්නේ ට්‍රම්ප් විරෝධී ඇමරිකන් ඔත්තුසේවා ලොක්කෙකු බවට සැක පලවේ.

ඔය අස්සේ ට්‍රම්ප්ගේ චන්ද කෙරුවාවේදී රුසියානුවන් සිදුකල කාර්යභාරය සොයා බලන්නට එෆ්.බී.අයි ආයතනය පියවර ගත්තේය. එහි පුරෝගාමියා වූයේ එ.බී.අයි අධ්‍යක්ෂක ජේම්ස් කොමේය. කොමේ ට්‍රම්ප් හා රුසියානුවන් අතර යම් නීතිවිරෝධී ගණුදෙනුවක් සිදුවී ඇතිදැයි සොයාබලන්න උත්සහ ගනිද්දි ට්‍රම්ප්ගේ වයිට් හවුස් කාර්යමණ්ඩලය එයට හැකිතාක් අකුල් හෙලුවේය. ජේම්ස් කොමේට මේවා සොයා බැලීම නවත්වා දැමිය යුතුයැයි ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියා සිටියේ වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකු (ඒකියන්නේ ඇමරිකන් ජනාධිපතිවරයෙකු ) නොකල ආකාරයට නීතියට නිගරු කරමිනි. අවසානයේ ට්‍රම්ප් සිය විධායක බලතල පාවිච්චි කර්මින් ජේම්ස් කොමේව එෆ්.බී.අයි ප්‍රධානී තනතුරෙන් පන්නා දැමුවේය. 

කෝමේ පන්නා දැමීමෙන් වොෂින්ටනය පෙර නොවූ විරූ පරිදි රත්විය. ට්‍රම්ප්ට දැඩිලෙස පක්ෂපාත කොන්ග්‍රස් හා සෙනෙට් සභිකයින්ද "මේ යකාට පිස්සුද මන්දා?" කියන තරමටම වැඩේ වකුරුවූයේ ට්‍රම්ප් නොසිතූ පරිද්දෙනි.

කොමේ පන්නාදැමූ දිනයට පසු දිනයේම ට්‍රම්ප් තවත් ඇමරිකන් ජනවිඤ්ඤාණයට මෙන්ම බුද්ධි අංශවලට දිරවාගන්නට බැරි ගොන් වැඩක් කලේය. ඒ රුසියානු ආරක්ෂක ඇමති සර්ග්යි ලැව්රොෆ් හා තවත් උසස් ආරක්ෂක නිළධාරියෙකු සමග ධවල මන්දිරයේ ජනාධිපතිවරයාගේ නිළකාමරයේම සාකච්ඡාවක් පැවත්වීමයි. මෙම සාක්ච්ඡාව සියලුම මාධ්‍ය වලට තහනම් විය. එහෙත් සාක්ච්ඡාව අවසන්වී පැය කිහිපයක් යන්නට මත්තෙන් රුසියානු නිළ ටාස් ප්‍රවෘත්ති සේවයේ වෙබ් අඩවියේ ට්‍රම්ප් හා ලැව්රොෆ් පරණ යාලුවන් මෙන් අත් අල්ලාගෙන විරිත්තාගෙන ඉන්නා ඡායාරූපයක පලවූයේ ඇමරිකන් මාධ්‍ය පරල කරමිනි.

ඇමරිකන් මාධ්‍යවලට තහනම්වූ සාක්ච්ඡාවට රුසියානු ටාස් මාධ්‍ය ආයතනයේ ඡායාරූප ශිල්පියෙකු ගෙනයන්නට රුසියානුවන් සමත්වී තිබුණි. ඇමරිකන් රාජ්‍ය පාලනයේ හදවත වන් ඕවල් ඔෆිස් නම් ජනපති නිළ කාමරයට කැමරාවක් එල්ලාගත් රුසියන්කාරයෙකු යන්නට ඉඩදුන්නේ මොන පිස්සාදැයි ප්‍රකෝපවූ ඩිමොක්‍රැටික් නායකයින් මෙන්ම ඇමරිකන් බුද්ධි අංශද විමසන්නට විය. එසේ ගෙන ගිය කැමරාකාරයා අනිවාර්යයෙන්ම රුසියන් FSB ඔත්තුසේවයේ අතිදක්ෂ ඔත්තුකාරයෙකු වියයුතුයයි ඇමරිකන් රූපවාහිණී මාධ්‍යවල පෙනීසිටිය විචාරකයින් තර්ක ඉදිරිපත් කලෝය.

ලැව්රොෆ්ගේ කැමරාකාරයාගේ සිද්ධිය නිවෙන්නටත් කලින් තවත් ගිණි බෝම්බයක් පත්තුවිය. එය පත්තු කලේද ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකට ගෙදර යන්නට වැඩේ සෙට්කල ඇමරිකන් ඔත්තුසේවාවක ට්‍රම්ප් විරෝධියෙකි. ට්‍රම්ප් සිය සාකච්ඡාවේදී ලැව්රොෆ්ට අතිශයින්ම සංවේදී, ඇමරිකාවේ ලඟම හිතවත් බ්‍රිතාන්‍යය, ඊශ්‍රායලය වැනි රටවලට පවා හෙලි නොකරන තරමේ රහසිගත තොරතුරු ලබාදුන් බව මාධ්‍යවලට ලීක් වූයේය. එම ලීක් වීම සිදුවූයේ ට්‍රම්ප් එම තොරතුරු හෙලිකල බවට ඇමරිකන් CIA, NSA, DIA වැනි ඔත්තුසේවාවලට නිළවශයෙන් දැනුම් දෙන්නට ධවල මන්දිරය පියවර ගත්තාට පසුවය. 

එම රහසිගත නිළ නිවේදනය ලබාගත් ට්‍රම්ප් විරෝධී ඔත්තුසේවා ලොක්කෙක් කෙලින්ම ඒ තොරතුරු වොශිංටන් පෝස්ට් පුවත්පතට ලබා දුන්නේ වොෂිංටනයේ පරමාණු බෝම්බයක් පත්තු කරමිනි. 

මීට පෙර ට්‍රම්ප්ගේ පොලිටිකල් නාඩගම් ඇමරිකාව ඇතුලේ පෙන්වන කොමික් ෂෝ එකක් පමණක් වූ නමුත් මෙම සිද්ධිය ඇමරිකන් හිතවාදී, රුසියන් විරෝධී රටවල්වල බුද්ධි අංශ නායකයින්ගේ දැඩි විවේචනයට බඳුන්වෙමින් තිබේ. "මේ චෝදනාව ඇත්තක් නම් මීට පස්සේ සංවේදී බුද්ධි තොරතුරු ඇමරිකාවට නොදී සිටින්නට තීරණයක් ගන්නට සිදුවේවි..." යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශකලේ යුරෝපා පාර්ලිමේන්තුවේ බුද්ධි-තොරතුරු පිලිබඳ ස්ථාවර කමිටුවේ ප්‍රධානියාය. 

ට්‍රම්ප්තුමා මේ විධියට ඇදගෙන, සබන් ගාගෙන, වටේට චූ කර කර හෙලුවෙන් නාන එක ඉක්මණට නැවැත්තුවේ නැතිතම් ඇමරිකාවේ කෙටිම කාලයක් ජනාධිපති පදවිය හෙබවූ පුද්ගලයා ලෙස ඉතිහාස ගතවීමේ සම්භාවිතාවය ඉතා ඉහල බව අවසාන වශයෙන් කිවයුතුය. 

ට්‍රම්පච්චී ඉක්මණට වෙරි හිඳගන්න......සොහොන් ලකුණු මතුවෙමින් තිබේ...






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments