WHEN WE WERE SCHOOL KIDS : අපි ඉස්කෝලෙ ගිය කාලේ ගිය ජනප්‍රිය Artificial Intelligence (AI) චරිත තිබූ රූපවාහිණී වැඩසටහන්

අපි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ 80 දශකයේ මැද සිට අනූව දශකයේ මුල වෙනකම් කාලේ, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැතිනම් කෘත්‍රිම බුද්ධිය කියන යෙදුම පවා කවුරුවත් නොදන්න කාලේ, මිනිස්සු වගේ කතාකරන, මිනිස්සුවගේ හිතන්න පුලුවන් කොම්පියුටර් තියෙන රූපවාහිණී කතාමාලා කිහිපයක් ජනප්‍රියවෙලා තිබුණා.

මේවා වැඩි ගණනක් පෙන්නුවේ ජාතික රූපවාහිණියේ. අපි අයි.ටී.එන් බැලුවේ පොප් සිංදු අහන්න විතරයි. ඒක වෙනම ලිපියක්. ජාතික රූපවාහිණියේ පෙන්නපු, අපි ගොඩක් ආසා කරපු, තවමත් බලන්න ආසා හිතෙන, කෘත්‍රිම බුද්ධි කොම්පියුටර් නැතිනම් රොබෝලා ප්‍රධාන චරිත වලට පණපොවපු රූපවාහිණී කථාමාලා කිහිපයක් මතක්කර ගනිමු.

KNIGHT RIDER (1982-1985)


කොල්ලන්ව පිස්සු වට්ටපු කතාකරන කොම්පියුටර් කාර් එකේ කතාව. නයිට් රයිඩර් පෙන්නපු දවසට පස්සේ දවසෙ මුලු ඉස්කෝලෙම වගේ කතාවෙන්නේ ඒක ගැන තමයි. නයිට් රයිඩර් කාර් එකේ ඉස්සරහ දුවන එල්.ඊ.ඩී ලයිට් සෙට් එක වගේ ඒවා හදාගෙන සමහර අය ගෙදර පරණ කාර්වලටත් හයිකර ගත්ත යුගයක් ඒක.

කතාවේ වීරයා තමයි මයිකල් නයිට්. පොලිස් නිළධාරියෙක් වුනු එයා දරුණු වෙඩි ප්‍රහාරයකට පස්සේ ප්ලාස්ටික් සැත්කමකින් මුහුණ වෙනස් කරලා මයිකල් නයිට් කියන නමින් පෙනී සිටින කෙනෙක්. එයාව මේවිධියට වෙනස් කලේ නයිට් ෆවුන්ඩේෂන් කියන රාජ්‍ය නොවන සංවිධානයක්. ඒකේ අරමුණ නීතිය හා යුක්තිය වෙනුවෙන් මැදිහත්වීම. 

මයිකල් නයිට්ගෙ සගයා වුනේ "KITT" කතාකරන කාර් එක. කිට් කියන්නෙ "Knight Industries Two Thousand" එකේ කෙටි යෙදුම. කිට්ව හදලා තියෙන්නේ කෘත්‍රිම බුද්ධිය සමගින්. ඒ නිසා හිතාමතා තීරණ ගන්න එයාට පුලුවන්. උඩින් පණින්න, අධික වේගයෙන් යන්න, රෝද දෙකෙන් යන්න, වෙඩි ප්‍රහාර වලට ඔරොත්තු දෙන්න වගේ අපූරු වැඩ කිට් කාර් එකට පුලුවන්.

මයිකල් නයිට්, බොනී බාර්ස්ටෝෆ්, ඩෙවොන් මයිල්ස්
KITTට හතුරෙකුත් හිටියා. එයා තමයි KARR (Knight Automated Roving Robot). කිට් හදන්න කලින් හදපු රොබෝ කාර් එක. එයාගෙ කෘත්‍රිම බුද්ධි වැඩසටහනේ අවුලක් නිසා එයා නපුරුයි. තමුන් ගැන විතරක් හිතන, නපුරු වැඩ කරන චරිතයක් වුනු KARR රොබෝවා KITTට සළකන්නේ කරදරකාර, මෝඩ බාල සහෝදරයෙක් විධියට. KARR එයාව ගබඩා කරලා තිබුණු තැනින් පැනලා ගිහින් ඉබාගාතේ ඇවිදිනවා.

කිට්ව අයිති මයිකල් නයිට් අයියට වුනාට කිට්ව බලාගත්තේ බොනී බාර්ස්ටෝෆ් කියලා ලස්සන අක්කා කෙනෙක්. එයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. එයා හැම වෙලාවෙම කිට් ගැන වගේම මයිකල් අයියා ගැනත් කරදර වුනා. දෙවන සීසන් එකේ එයාගෙ තැන ගත්තේ ඒප්‍රිල් කර්ටිස් කියලා තවත් ලස්සන අක්කා කෙනෙක්. තුන්වෙනි, හතරවැනි සීසන් වලදී බොනී අක්කා ආපහු ආවා. ඒප්‍රිල් අක්කට වුනේ මොකක්ද කියලා කියන්න දන්නේ නෑ.

BATTLE STAR GALACTICA (1978)


අපි ගොඩක් ඉස්කෝලෙ යන කාලේ ආසා කරපු ස්ටාර් ට්‍රෙක් වගේ තවත් ලස්සන කතා මාලාවක්. හැබැයි මම මේ කතාකරන බැටල්ස්ටාර් කතාමාලාව වසර 2000කාලේ ආපු සීරීස් එක නෙමෙයි. 1978දී ආපු ඔරිජිනල් සීරීස් එක. ඒක ලංකාවේ පෙන්නුවේ 1984-1985 වගේ කාළවල කියලා තමයි මතක. මේ කතාමාලාවේ ප්‍රධාන දුෂ්ඨයන් (chief antagonists) වෙන්නේ රොබෝ වරුන්. 

රොබෝලා ගැන කතාකරන්න ඉස්සෙල්ලා බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා කතාමූලය දැන ගනිමු. (මමත් හරියටම කතාවේ මූලය දැන ගත්තේ මේ ලිපිය ලියන්න මූලාශ්‍ර කියවනකොට)

ඈත විශ්වයේ එක්තරා ග්‍රහමණ්ඩලයක මානව ජනාවාස 12ක්, සයිලෝන් නම් කෘත්‍රිම බුද්ධි රෝබෝ ශිෂ්ඨාචාරයක් සමග නිරන්තර යුද්ධයක පැටලී සිටියා. පෘථිවි මානවයින්ගේ ලේ නෑයන්වූ, එහෙත් අතිශයින්ම දියුණු තාක්ෂණයක් බිහිකරගෙන සිටි මේ මානව  ගෝත්‍ර 12 වසර දහසක් පමණ සයිලෝන් රොබෝවරුන් සමග යුද්ධ කලා.

සිය මැවුම්කරුවන් විනාශකොට දැමූ සයිලෝන් රොබෝවන්, මිනිස්වර්ගයා විනාශකර දැමීමේ අටියෙන් නිරතර අරගලයක නිරතවුනා.
යුධ සෙබලුන් ලෙස ප්‍රයෝජනයට ගැනීමට සයිලෝන් රොබෝවරුන් නිර්මාණය කර තිබෙන්නේ බුද්ධිමත් උරගජීවී (reptilian) ශිෂ්ඨාචාරයක් මගින්. මෙම රොබෝවන් සිය නිර්මාතෲවරුන් විනාශකොට දමන ලද බව කියැවෙනවා. සයිලෝන්වරු මිනිස් වර්ගයා විසූ ග්‍රහලෝක දොලහටම එල්ලකල බලාපොරොත්තු නොවූ හදිසි ප්‍රහාරයකින් ඒ සියල්ල විනාශවී ගිය අතර දිවිගලවාගත් අය "ගැලැක්ටිකා" නම් විශාල යුධ යානාවක් (battle star-ship a.k.a battlestar) හා තවත් අවසේශ යානා 220කින් පමණ පලා යන්නට වුනා. ඔවුන්ගේ අරමුණ වුනේ 13වැනි මානව ජනාවාසය ලෙස ඔවුන්ගේ පුරාවෘත්තවල කියැවුනු පෘථිවිය සොයා යෑමයි. මෙම ගමන අතර මගදී නිරන්තරයෙන් ඔවුන් සයිලෝන් වරුන්ගේ ප්‍රහාරවලට බඳුන්වුනා.

1978 ගැලැක්ටිකා කතාමාලාවේ සයිලෝන්වරුන්ගේ නිර්මාණය පිටසක්වල බුද්ධිමත් උරග ශිෂ්ඨාචාරයක් අතින් සිදුවුනත් 2004 ගැලක්ටිකා ප්‍රතිනිර්මාණයේ නිධාන කතාවේ කියැවෙන්නේ සයිලෝන්වරු, මිනිසා විසින් තමන්ට සේවය කිරීම සඳහා නිර්මාණය කල රොබෝවන් බවත්, පසුව ඔවුන් මානව වර්ගයාට විරුද්ධව අරගල කල බවයි.

AUTOMAN (1983)


ඔටෝමෑන් කියන්නේ අපූරු කෘත්‍රිම බුද්ධි ජීවියෙක්. එයා නිර්මාණය වෙලා තියෙන්නේ හොලෝග්‍රෑමයක් විධියට. ඒ කියන්නේ තාත්වික රූපයක් විධියට. ඒ තාත්වික බව කොච්චර වැඩිද කියනවානම් එයාට භෞතික ලෝකයේ සැරිසරන්න, අන් අය සමග ගණුදෙනු කරන්න අපහසුවක් නෑ.

ඔටෝමෑන්ව නිර්මාණය කරේ පොලිස් නිළධාරියෙක් වගේම දක්ෂ පරිගණක විශේෂඥයෙකු වන වෝල්ටර් නෙබිචර්. ලොව සුප්‍රකට නළුවන්, ක්‍රීඩකයින්, දේශපාලඥයින් වගේ අයගේ පෞද්ගලික තොරතුරු ඇතුලු කරලා, ඒ හැම කෙනෙකුගේම සහජ හැකියාවන් සියල්ලම එක්ක බිහිවුනු ඔටෝමෑන් සැබවින්ම සුපර් හීරෝ කෙනෙක්. එයාගෙ උදව්වට කර්සර් (cursor) කියලා උදව්කාරයෙකුත් හිටියා.

වෝලරුයි ඔටෝමෑනුයි එකතුවෙලා ලොස් ඇන්ජලීස් නගරේ අපරාධ මැඩලන එක තමයි කතාවේ තියෙන්නේ.

BLAKE'S 7 (1978)


කවුරු හරි මගෙන් ඇහුවොත් මම ඉස්කෝලෙ යන කාලේ මගේ ජනප්‍රියම රූපවාහිණී කතාමාලා මොනවද කියලා, මම කියන්නේ බ්ලේක්ස් 7  විද්‍යා ටෙලි ප්‍රබන්ධයයි "V" විද්‍යා ටෙලි ප්‍රබන්ධයයි. මෙතනදී මම V ගැන කතා කරන්නේ නැත්තේ V කථාමාලාවේ කෘත්‍රිම බුද්ධි චරිතයක් නොතිබුන නිසා. ඒත් බ්ලේක් 7 කථාමාලාවේ එවැනි චරිත දෙකක් තිබුණා.

බ්ලේක්ස් 7 ලංකාවේ එතරම් ජනප්‍රිය වුනේ නෑ. ඒකට හේතුව වෙන්න ඇත්තේ මේක පෙන්නුවේ අයි.ටී.එන් එකේ. අයි.ටී.එන් කියන්නේ ඒකාලේ ඉංග්‍රීසි වැඩසටහන් වැඩිපුර පෙන්නපු, ඉංග්‍රීසියට බර චැනල් එකක්. අනිත් එක ජාතික රූපවාහිණිය වගේ අයි.ටී.එන් හැම තැනම හරියට පෙනුනේ නෑ.

ඉතින් දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක බ්ලේක්ස් 7 කතාව කියන්නම්. මේක BBC නිර්මාණයක්. ඈත අනාගතයේදී මිනිසා පෘථිවියෙන් නික්මිලා අභ්‍යවකාශයේ සැරිසරන, වෙනත් ග්‍රහලෝක ජනාවාස කරගත්ත යුගයක්. මේ මිනිස් ජනාවාස බොහොමයක් පාලනය කලේ පෘථිවිය කේන්ද්‍රකරගත් "ටෙරාන් ෆෙඩරේෂන්" කුරිරු ඒකාධිපති රාජ්‍යයක්. 

බ්ලේක් හා ඔහුගේ සත්දෙනා මෙම කුරිරු පාළණයට විරුද්ධව සටන් වැදුනු විරුවන් සත් දෙනෙක්. ඔවුන් සිය ගමන් වලට යොදාගත් ලිබරේටර් කියන අභ්‍යවකාශ යානය එකල තිබූ වේගවත්ම, මෙන්ම බලසම්පන්නම යානාවක්.


මේ ඡායාරූපයේ පේන්නේ බ්ලේක් සහ ඔහුගේ සගයින්. 

අංක 1 - නිදහස් සටන්කාමියෙකු වුනු රොජ් බ්ලේක් බොරු චෝදනාමත සිරගත කරලා සිරෙන් පැනගිය කෙනෙක්. කණ්ඩායමේ නායකයාවූ ඔහුගේ අරමුණ ෆෙඩරේෂණය විනාශ කිරීම.

අංක 2 - ජෙනා ස්ටැනිස්. ඇය හොර බඩු ජාවාරම්කාරියක්. ෆෙඩරේෂණයේ රේගු පාලනවලට හොරෙන් විවිධ ග්‍රහලෝක වලට තහනම් බඩු ගෙනයාම තමයි ඇයගේ රැකියාව වුනේ. බ්ලේක් සමග එකතුවුනාට පස්සෙ, ඇය බ්ලේක් ගේ අරමුණ වෙනුවෙන් කැපවුනා. වෘත්තියෙන් ඇය අභ්‍යවකාශ යානා නියමුවෙක්. ඇය තමයි, බ්ලේක් 7 කන්ඩායමේ ලිබරේටර් යානය පියාසර කරවන නියමුවරිය.

අංක 3 - කැලී. ඇයට වාසගමක් නැහැ. ඇය මිනිස් රූපය තිබුණත් පිටසක්වල ජීවියෙක්. ඇයට අන් අයගේ සිත් කියවීමේ හැකියාව, චිත්ත ශක්තියෙන් භෞතික ක්‍රියාකාරකම් කිරීමේ (telekinesis) හැකියාව වගේම යමක් සිදුවීමට පෙර එය දැන ගැනීමේ හැකියාව (precognition) ඇති අපූරු ජීවියෙක්. ඒවගේම ඇය ෆෙඩරේෂණයට විරුද්ධව ඇයගේ ග්‍රහලෝකයේ සටන් මෙහෙයවපු ගරිල්ලා නායිකාවක්.

අංක 4 - විලා රෙස්ටල්. ස්වභාවයෙන් බියසුලු ගතියක් පෙන්වූවත් සිය සගයින් අමාරුවේ වැටුනු විට දිවි නොතකා සටන් වදින, ඉහල බුද්ධියක් ඇති විලා ඕනෑම අගුලක් හෝ දොරක් විවරකරන්නට දක්ෂකම් ඇත්තෙක්. ඒවගේම මත්පැන් හා ස්ත්‍රීන්ට ලොල්වුනු, ඒ නිසාම නිතරම අමාරුවේ වැටෙන්නෙක්. එහෙත් බ්ලේක් ගේ අරමුණ වෙනුවෙන් දැඩි ලෙස කැපවූ අයෙක්.

අංක 5 - කර් ඒවොන් (Kerr Avon). කණ්ඩායමේ සිටින පරිගණක විශේෂඥයා, ඉහලම බුද්ධිමතා වගේම කිසිවිටකත් සිනා නොවන දැඩි සිත් ඇත්තා. ෆෙඩරේෂණයේ බැංකුවකින් පරිගණක වංචාවක් හරහා මිලියන ගණනක් සොරකම් කරන්නට ගොස් අසුවන ඒවොන් බ්ලේක් ගේ කණ්ඩායමට එක්වන්නේ බ්ලේක්ගේ අරමුණ වෙනුවෙන් නොව ඔහුගේම ගැලවීම හා ආරක්ෂාව සඳහායි. එහෙත් කල් යත්ම ඔහු ක්‍රමයෙන් බ්ලේක්ගේ අරමුණට කැපවෙනවා. එහෙත් ඒවොන් හිතුවක්කාරයි. බ්ලේක් ගේ අණ වෙනුවට තමන්ගේ කැමත්තක් කරන්න කැමති ඔහු අවශ්‍ය වෙලාවට කණ්ඩායමේ ගැලවුම වෙනුවෙන් ක්‍රියා කරනවා. උපායශීලී ඥාණයෙක් කෙල පැමිණි ඔහු බ්ලේක් ගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු කණ්ඩායමේ නායකයා වනවා.

අංක 6 - ඔලෙග් ගැන් බ්ලේක් ගේ කණ්ඩායමට එක්වන්නේ සිය පෙම්වතිය මරා දැමූ ෆෙඩරේෂන් සෙබලෙකු මරා දමා සිරගතවී සිට සිරෙන් පැන යාමෙන් පසුවයි. ඉතා ශක්තිමත් සිරුරක් ඇති ඔලෙග් ගැන් බ්ලේක්ගේ ෆෙඩරේෂණය විනාශකර දැමීමේ අරමුණට කැපවුනු අයෙක්.

අංක 7 - මේ තැන දෙන්නෙක් හිටියා. දෙන්නාම කෘත්‍රිම බුද්ධිය ඇති, සවිඤ්ඤාණික පරිගණක. 

මේ රූපයේ වීදුරු පෙට්ටියක් මෙන් පෙනෙන්නේ ඕරැක් නම් අපූරු පරිගණකය. එය විශ්වයේ බලසම්පන්නම පරිගණකයක් බව කියවෙනවා. නොරුඉස්නා, නොඉවසිලිවන්ත ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකුගේ (irritable genius) පෞරුෂත්වයක් ඇති ඕරැක්, බ්ලේක් හට ලබාදෙන්නේ එය නිර්මාණය කල එන්සර් නම් පරිගණක විශේෂඥයා. වෙනත් ඕනෑම පරිගණකයක ඇති දත්ත කියවීමට හා එම පරිගණක පාලනය කල හැකි ඕරැක් සුපිරි ගණිතමය හැකියාවක් ඇති යන්ත්‍රයක්.

ඕරැක් කණ්ඩායමට එකතු වෙන්නේ ටිකක් කල් ගිහින්. ඊට කලින් බ්ලේක්ගේ 7 වැන්නා වන්නේ බ්ලේක් ලාගේ ලිබරේටර් අභ්‍යවකාශ යානයේ "සෙන්" නම් කෘත්‍රිම බුද්ධි පරිගණකය. ලිබරේටර් යානය පාලනය කරන මෙන්ම එය ආරක්ෂාකරන වගකීම සෙන්ට තිබුණා. ඒවගේම කණ්ඩායමට අවශ්‍ය තොරතුරු යානයේ ස්කෑනර් හරහා ලබාගෙන දීමේ වගකීමත් සෙන් පරිගණකයට තිබුණා.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments