WINDOWS : Build 2017 වැඩමුළුවේ දී හඳුන්වාදුන් Windows 10 Creators Update විස්තර


මයික්‍රොසොෆ්ට් බිල්ඩ් 2017 වැඩමුළුව දැන් අවසන්. මේ වැඩමුළුවේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක සත්‍යා නඩෙල්ලා ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරීන් ගණනාවක් දේශන පැවැත්වූ අතර එහිදී අලුත් නිර්මාණ (new products) මෙන්ම පවතින නිර්මාණවලට සිදුකරන වැදගත් යාවත්කාලීන කිරීම් (major updates) හඳුන්වාදුන්නා.

මයික්‍රොසොෆ්ට් සිදුකල වැදගත්ම හෙලිදරව්ව නම් මේ වසරේ සිසිර සෘතුවේදී (Fall/Autumn) නිකුත්කරන අලුත්ම වින්ඩෝස් 10 යාවත්කාලීන කිරීමයි. ක්‍රියේටර්ස් අප්ඩේට් ලෙස හඳුන්වාදී ඇති මෙය සෑම වින්ඩෝස් 10 භාවිතා කරන්නෙකුටම ලබාගත හැකි අතර ඔබගේ වින්ඩෝස් 10 පරිගණකයේ වැදගත් වෙනස්කම් කිහිපයක් සිදුකරනවා.

එම යාවත්කාලීන අතරින් වැදගත්ම ඒවා නම්;

1] යූසර් ඉන්ටර්ෆේස් එක ලස්සන කරන "Microsoft Fluent Design System"
2] වින්ඩෝස් 10 ටයිම්ලයින් විශේෂාංගය "Pick Up Where You Left Off"
3] අලුත්ම වීඩියෝ හදන ඇප් එක "Story Remix"
4] ක්ලවුඩ් ක්ලිප් බෝර්ඩ් "Cloud Clipboard"

එකක් නම් වින්ඩෝස් අතුරුමුහුණත (graphical user interface) යම් ආකාරයකින් අලුත් කිරීමක් සිදුකරන එකක්. ප්‍රොජෙක්ට් නියොන් නම් ව්‍යාපෘතියක් හරහා මයික්‍රොසොෆ්ට් මෘදුකාංග නිෂ්පාදන සියල්ලේම අතුරුමුහුණත් වල ආකර්ෂණීය භාවය වැඩිකිරීමට ගත් උත්සහයක් අවසන්වී ඇති අතර එය දැන් නිළ වශයෙන් "Microsoft Fluent Design System" ලෙස හඳුන්වනවා. මේ අනුව වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය මෙන්ම, වින්ඩෝස් ෆෝන් මෙහෙයුම් පද්ධතිය, X බොක්ස් මෙහෙයුම් පද්ධතිය, මයික්‍රොසොෆ්ට් ඔෆිස් අතුරු මුහුණත ආදිය වෙනස් වීමට නියමිතයි.

ක්‍රියේටර්ස් අප්ඩේට් යාවත්කාලීන කිරීම ස්ථාපනය කරගැනීමෙන් වින්ඩෝස් 10ට ලැබෙන තවත් වැදගත් වෙනස් කිරීමක් වන්නේ "Timeline" නම් අලුත් හැකියාවක්. ඒ අනුව සෑම දිනකම ඔබ වින්ඩෝස් පරිගණකය තුල භාවිතාකල ඇප්ස්, ඒවා යොදාගෙන නිර්මාණය කල ලිපිගොණු සියල්ලම පෙන්වනවා. එය පෙනුමෙන් දින අනුව වෙන්කල රූපමය දිගහැරුමක්. තරමක් දුරට ඔබගේ ෆේස්බුක් ටයිම්ලයින් එක හා සමානයි.එහෙත් මෙහිදී සෑම දිනයකම ඔබ භාවිතාකල ඇප් හා විවෘතකල ගොනු එකට පෙන්වනවා. ඒ අනුව ඕනෑම දිනයකදී කරන ලද වැඩක ඉතිරිය තවත් ඉදිරි දිනයකදී කරදරයක් නොමැතිව සොයාගෙන නවත්වපු තැන සිට පටන් ගැනීමට හැකියි. මයික්‍රොසොෆ්ට් මෙම ටයිම්ලයින් විශේෂාංගය "Pick Up Where You Left Off" ලෙසද හඳුන්වන්නේ එහි වැදගත්ම ප්‍රයෝජනය එය නිසායි.

එමෙන්ම වින්ඩෝස් ඩිවයිස් එකක් (පරිගණකයක්, ටැබ්ලටයක්) ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසයක් සමග යාවත්කාලීන කිරීමට හැකියාවක්ද මෙයින් ලැබෙනවා.

Windows 10 Timeline Demo
ක්‍රියේටර්ස් අප්ඩේට් වෙතින් ලබාදෙන තවත් අලුත්ම විශේෂාංගයක් හෙවත් නම් "Story Remix" නම් වීඩියෝ නිර්මාණ මෘදුකාංගයයි. වින්ඩෝස් එස්සෙන්ෂල්ස් ගොනුව යටතේ ඉදිරිපත් කල වින්ඩෝස් මූවි මේකර් අවසන් වතාවට යාවත්කාලීන වුනේ වසර 2012දී. එනම් 5 වසරකට පෙර. එවගේම මූවි මේකර් වින්ඩෝස් 10 යටතේ ලබාදුන්නේත් නෑ. එහෙත් දැන් අලුත්ම ආකාරයකට නිර්මාණය කල වීඩියෝ නිර්මාණ මෘදුකාංගයක් ලෙස "Story Remix " හඳුන්වාදීම ක්‍රියේටර්ස් අප්ඩේට් තුලින් මයික්‍රොසොෆ්ට් බලාපොරොත්තු වනවා.

ෆොටෝ හා වීඩියෝ ක්ලිප් යොදාගෙන, තෝරාගත් තීම් එකක් උපයෝගීකරගෙන වීඩියෝ නිර්මාණය කල හැකි අතර. එම වීඩියෝ නිර්මාණය කිරීමේදී ඔබ කැමති අයෙකුව තෝරාගෙන, එම පුද්ගලයා හෝ දරුවා උලුප්පා පෙන්නන ආකාරයට (highlight වන ආකාරයට) වීඩියෝව නිර්මාණය කරගැනීමද වැදගත් හැකියාවක්. එමෙන්ම වීඩියෝවට 3D Animated Objects ඇතුලුකොට ඒවා වීඩියෝවේ සිටින්නන් සමග ක්‍රියාකරන බවක් පෙන්වන ආකාරයට වීඩියෝ නිර්මාණය කරගත හැකිවීමද විශේෂත්වයක්.

Story Remix - Video App Demo
ක්ලවුඩ් ක්ලිප්බෝර්ඩ් නම් තවත් වැදගත් විශේෂාංගයක් මේ අප්ඩේට් එකෙන් ලැබෙනවා. මෙහිදී හෝ ක්ලිප්බෝර්ඩ් එකට කොපි කරලා වෙනත් වින්ඩෝස් 10 ඩිවයිස් එකක් හෝ ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක පේස්ට් කරන්න පුලුවන්. මේ නිසා විවිධ වැඩවලට විවිධ ඩිවයිසස් හා OS භාවිතා කරන අයට එම ඩිවයිසස් සමග වින්ඩෝස් 10 පරිගණක හෝ ටැබ්ලට් භාවිතය වඩාත් පහසු වනවා.




_________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments