BUSINESS STRATEGY : යාහූ වෙරයිසොන් එක්ක යයි, මරීසා මිලියන 3500ක් එක්ක ගෙදර යයි!


ඇමරිකාවේ ප්‍රමුඛතම සෙලියුලර් හා සන්නිවේදන, ජනමාධ්‍ය හා තාක්ෂණ සමාගමක් වන වෙරයිසන් කමියුණිකේෂන් සමාගම, කලක් ලෝකයේ විශාලතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයව තිබී පසුව අගාධයට ගිය යාහූ සමාගම ඩොලර් බිලියන 4.5කට මිළදීගෙන තිබේ. මීට පෙර වෙරයිසන් සමාගම AOL සමාගම මිළදීගත් අතර එයද කලක් ඇමරිකානු අන්තර්ජාල සේවා සපයන්නන් අතර දැවැන්ත සමාගමක්ව තිබී කඩා වැටුනු සමාගමක් වුනා.

වෙරයිසන් සමාගම සතුව අන්තර්ජාල සේවා, සෙවුම්  හා ප්‍රවෘත්ති සපයන ‍Yahoo, AOL, Huffington Post, TechCrunch, Gadget යන සමාගම් ඇති අතර මෙම සමාගම් OATH ලෙසින් නම් කොට ඇති අලුත්ම සමාගමක් යටතේ ගොනු කරන බව වෙරයිසන් සමාගම පවසනවා.

යාහූ සමාගමේ වඩාත්ම වටිනා අංශ ලෙස යාහූ ෆයිනෑන්ස් මූල්‍ය ප්‍රවෘත්ති අඩවිය, යාහූ මේල් ඊමේල් සේවාව, ටම්බ්ලර් සමාජ ජාල අඩවිය හා වෘත්තීය හා ආධුනික ඡායාරූප ශිල්පීන් දසදහස් ගණනක් සිය ඡායාරූප ගබඩා කරන ෆ්ලිකර් ඡායාරූප සේවාවද ඇතුලත්වනවා.


1994 ජනවාරියේ ජෙරී යැන්ග් හා ඩේවිඩ් ෆිලෝ යන මිතුරන් දෙදෙනා කැලිෆෝනියාවේදී ආරම්භ කල යාහූ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය කෙටිකලකින්ම ඉතා ජනප්‍රිය වුනා. වේගයෙන් වර්ධනය වුනු යාහූ සමාගමේ කොටස් මිල 1999-2000 වේගයෙන් ඉහල ගියේ ඒකාලයේ අන්තර්ජාල තාක්ෂණ සමාගම් වල ආයෝජනය කිරීම උමතුවක් මෙන් වර්ධනය වී තිබූ නිසයි. "Dot Com Bubble" ලෙස හැඳින්වූ මේ ආයෝජන සබන් බුබුල 2001 වසරේදී පුපුරා ගියා.

වසර 2000 ජනවාරි 3වැනිදා යාහූ කොටසක වෙළඳපොල මිල ඩොලර් 118ක් තෙක් ඉහල නැග තිබුණද ඩොට් කොම් බුබුල පිපිරීයාම නිසා 2001 සැප්තැම්බර් 26 වනවිට ඩොලර් 8කට කඩා වැටී තිබුණේ යාහූ වෙත මුදල් ආයෝජනය කල ආයෝජකයින්ට ඩොලර් බිලියන ගණනින් අහිමි කරවමින්.

ඩේවිඩ් ෆිලෝ හා ජෙරී යැන්ංග්, යාහූ සමාගම ආරම්භකල අවධියේ
මෙයින් පසු යාහූ සමාගම පසුබෑමකට ලක්වූ අතර ඒ කාලයේදීම යාහූ සෙවුම් යන්ත්‍රයට වඩා වේගවත් ගුගල් සෙවුම් යන්ත්‍රය වේගයෙන් ජනප්‍රිය වෙන්නට පටන් ගත් නිසා යාහූ වෙත පිවිසෙන පරිශීලකයින් අඩුවෙමින්, ඔවුන් ගෙන් ලැබෙන දැන්වීම් හා වෙනත් ආදායම් අහිමි වෙමින් ගියා.

2008දි ගූගල් වෙතින් එන තර්ජනයට මුහුණදීමට බලසම්පන්න සෙවුම් යන්ත්‍රයක් අයිතිකර ගැනීමට මාන බලමින් සිටි මයික්‍රොසොෆ්ට් සමාගම යාහූ මුලුමනින්ම මිළදීගැනීම සඳහා ඩොලර් බිලියන 44ක ලංසුවක් ඉදිරිපත් කලා. එවක යාහූ සභාපති හා ප්‍රධාන විධායක නිළධාරියා වූ ජෙරී යැංග් මේ ලංසුව ප්‍රතික්ශේප කලේ යාහූ ඩොලර් බිලියන 44කට වඩා බොහෝ සෙයින් වටිනා බව පවසමින්. එහෙත් යාහූ ගොඩ ගැනීමට එහි සම නිර්මාතෲ ජෙරී යැංග්ට නොහැකිවූ අතර මයික්‍රොසොෆ්ට් සමාගමේ ඩොලර් බිලියන 44ක සල්ලි මල්ල ප්‍රතික්ෂේප කොට වසර තුනක් යනවිට යාහූ වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 22කට කඩා වැටී තිබුණා.

මරීසා මෙයර් 
යාහූ ගොඩ ගැනීම සඳහා එහි අධ්‍යක්ෂක මණ්ඩලය ගූගල් සමාගමේ පලමු කාන්තා ඉන්ජිනේරුවරිය හා ගූගල් සෙවුම් සේවාවේ ප්‍රධානියා ලෙස සේවය කල මරීසා මෙයර් ප්‍රධාන විධායක නිළධාරි ලෙස බඳවා ගත්තා.

2012 දී යාහූ ප්‍රධාන විධායක නිළධාරිණිය ලෙස එය ගොඩ ගැනීම සඳහා විවිධ උපායමාර්ග අනුගමනය කලද ඒ කිසිවකින් ගූගල්, ෆේස්බුක්, ට්විටර් ආදී සමාගම් වල තර්ජනය කළමණාකරණය කල ගැනීමට මරීසාට නොහැකිවුනා. මේ අතර නිසි දැක්මක් නොමැතිව විවිධ දැවැන්ත ආයෝජනය මගින් හා අයහපත් කළමණාකරණය නිසා යාහූ තවත් විනාශවී ගිය බවට මරීසාට දැඩිලෙස චෝදනා එල්ලවුනා. 

අවසානයේදී 2008දී මයික්‍රොසොෆ්ට් දෙන්නට යෝජනාකල ඩොලර් බිලියන 44න් සියයට 90%ක් වන ඩොලර් බිලියන 4කට යාහූ විකුණාදැමීමට අධ්‍යක්ෂක මණ්ඩලය හා ප්‍රධාන කොටස් හිමියන් එකඟවුනා.

මරීසා සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති අතර ඇයට වෙන්වීමේ පාරිතෝෂිකය ලෙස ඩොලර් මිලියන 23ක් එනම් රුපියල් මිලියන 3500ක් ලබාදීමටත් එකඟවී තිබෙනවා.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments