BUSINESS STRATEGY : BBS තියරිය හා අපේ තියරිය / මුස්ලිම් හෝටල්වල කෑමවලට වඳ බෙහෙත් දානවාද?


ඊයේ බුකියේ ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශයක් ඇතුලත් මීම් එකකට මා දැක්වූ ප්‍රතිචාරයට පිලිතුරු ප්‍රතිචාරයක් දැක්වූ එක් මිතුරෙක් "මුස්ලිම් ආක්‍රමණයක් නෑ කියලද කියන්නේ?" යනුවෙන් මගෙන් අසා සිටියේය.

වසර ගණනාවක සිටම සැළසුම් සහගතව එවැනි යමක් සිදුවන බව ඇස් පනාපිට දැකිය හැකි දෙයකි. සූක්ෂමව රටේ විවිධ නගරවල දේපොල විශාල මිළ ගණන්වලට මිලදීගෙන, ජනයා පදිංචිකරවා, ව්‍යාපාර අරඹවා ටිකෙන් ටික එම ප්‍රදේශයේ ව්‍යාප්තවීම, ඉන්පසු දැවැන්ත පල්ලියක් ඉදිකරගැනීම රටේ බොහෝ තැන්වල සුලභව දැකිය හැකිවනවා. මෙය ආක්‍රමණයක් යයි විස්තර කිරීම මුසාවක් වන්නේ ලංකාවේ පුරවැසියන්ට ලංකාවේ ඕනෑම තැනක ඉඩම් දේපොල මිළදී ගන්නට, ව්‍යාපාර කරන්නට අවසරයක් ඇති නිසාවෙනි.

කෙසේ වෙතත් සිංහල බහුතරයක් ඇති පෙදෙස් වල අමනලෙස ව්‍යාප්තවන්නට, පල්ලි ගසන්නට ගොස් අද පස්චාත් භාගය බිම ඇණගෙන, නැති ලෙඩක් දමාගෙන නිදාගෙන සිටි සිංහලයින් ඇහරවා ගැනීම සිදුවී ඇති බවද මුස්ලිම් ප්‍රජාවද නොකීවත් තේරුම් ගෙන ඇති බව නම් නිසැකයි. අරාබි තෙල් සල්ලි වලින් චූන්වී තට්ටු දෙක තුනේ බිල්ඩිමක් වත් පෙනෙන මානයක නැති, දුප්පත් මිනිසුන් වෙසෙන පෙදෙස්වල මාළිගා මෙන් පල්ලි හදාගෙන මෙලෙස ව්‍යාප්තවන්නට, බොරුවට පිම්බෙන්නට  අර ඇඳීමේ ආදීනව ඥාණසාරලා බිහිවීම බව මුසල්මානුවන් තේරුම් ගත යුතුය.

මේ සිදුවන දෑ පිලිබඳව සමාජය දැනුවත් කිරීමට, කතිකාවක් ඇති කිරීමට හා ජනගත කිරීමට ඥාණසාර හිමියන් හා බොදුබල සේනා ආදී සංවිධාන  ක්‍රියාකල අතර අරාබි තෙල් සල්ලි අද්දවා ගන්නට (ඒවායෙන් විශාල කොටසක් සොරා ගන්නා අතර ඉතිරි ටිකෙන්) ලංකාව පුරා කොළණි, පල්ලි අටවාගන්නට ක්‍රියාකල කපටි, සල්ලි පෙරේත මුසල්මානු නායකයින් ඇරඹූ අමන ව්‍යාප්ති ව්‍යාපෘතියේ ප්‍රතිපල අද බහුතර මුස්ලිම් ජනයාද විඳිමින් පවතී.

දෙමළ කතාකරන මුස්ලිම් ජනයා 30 වසරක යුද්ධයේදී ප්‍රභාකරන්ට විරුද්ධව සිංහලයන් සමග සිටගත් බව අමතක කරවන්නට ඥාණසාරලාට හැකිවී ඇත්තේ අරාබි තෙල් සල්ලි වලට වහවැටුනු අමන මුස්ලිම් ජාවාරම්කාරයින් අතලොස්සකගේ ව්‍යාප්ති වැඩසටහන් නිසාය.

කෙසේවෙතත් මේ මුස්ලිම් වැඩසටහනට විරුද්ධව ගෙනයන BBS ව්‍යාපෘතියේ ගැටලු දෙකක් පෙනී යනවා.

1] ඇත්තට වඩා අතිවිශාල ලෙස (සමහර විට විසුලු සහගත ලෙස ) බොරු වැපිරීම මගින් වෛරය ඇතිකරීම මින් එකක්.  මුස්ලිම් හෝටල්වලින් කන්න එපා වහ දාලා, වඳබේත් දාලා කෑම දෙනවා වැනි කතා BBS ප්‍රමුඛ මුස්ලිම් විරෝධී නඩය විසින් පතුරවයි. ඇත්ත කතාව නම් මුස්ලිම් හෝටල් වලින් පමණක් නොව, සිංහල හෝටල්වලත් විකුණන අන්තිම බාල, සත්ව ආහාරවලට පවා නුසුදුසු  දෑ කෑවිට ආයුෂ කෙටිවන බවයි.

2] දෙවැන්න නම් මේ ගැටලුවට BBS වැන කාණ්ඩ යෝජනා කරන විනාශකාරි විසඳුමයි.

අලුත්ම නාඩගම වන පකිස්ථාන් ප්ලාස්ටික් හාල් වල සිට තනපට අස්සේ උපත්පාලන පෙති මගින් අපේ ගෑනු වඳ කිරීම, මුස්ලිම් ඇඳුම් කඩවල කාන්තා යට ඇඳුම් වලට ඉසිනලද රසායණික මගින් අපේ ගෑනු වඳ කිරීම, අපේ කෙල්ලන් බිලිබාගෙන බඩ කිරීමට මුස්ලිම් කොල්ලන්ගේ කූට සැලසුම් ආදී මෙකී නොකී බොරු නිසා, සැබෑ ගැටලුව වැසී ගොස් තිබෙනවා.

සැබෑ ගැටලුව කුමක්ද?

සැබෑ ගැටලුව වන්නේ ඔය කියනා ආකාරයෙන් සිංහලයින් වඳ කරමින්, බෞද්ධාගමික ස්ථාන විනාශකරමින් සිදුවන මහා දැවැන්ත මුස්ලිම්/වහාබ්/ISIS ආක්‍රමණයක් නම් නොවේ. එහෙම ජාතියක් වඳ කරන්නට පුලුවන් නම් හිට්ලර් ලක්ෂ ගණන් වදකාගාරවල ගෑස් ගසා මරාදැමූ යුදෙව්වන් අද වඳවීගොස් සිටිය යුතුය.

සැබෑ ගැටලුව වන්නේ බහුතර සිංහල ප්‍රදේශවලට පැමිණ දැන් පදිංචිව සිටින මුස්ලින් ව්‍යාපාරිකයින් හා තරඟ කොට ජය ගැනීමට අපහසුව සිටින එනම් මුස්ලිම් ව්‍යාපාරික ශක්තියට, උප්පරවැට්ටිවලට, උපක්‍රමීය මෙහෙයුම් වලට සිංහල ලුහු ව්‍යාපාරික ප්‍රජාවට මුහුණදීගත නොහැකිව සිටීමයි.

සිංහල ලුහු ව්‍යාපාරික ප්‍රජාව මේ ගැටලුවට විසඳුම ලෙස අඩු මහන්සියකින් මුස්ලිම් ව්‍යාපාරවලින් එල්ලවන වෙළඳපොල තරඟය නැතිකර ගැනීම සඳහා BBS වැනි සංවිධාන පෝෂණය කිරීම සිදුවන බව ඉතාමත්ම පැහැදිලියි.

මුස්ලිම් හෝටල්වල කෑමවලට විසදානවාද? ඔව්!! සිංහල හෝටල්වලත් දානවා.

මුස්ලිම් හෝටල්වල කෑම වලට විසදානවා යයි කතාවක් ඇත. එය බොරුවක් නොවේ. එහෙත් මුස්ලිම් කඩවල් පමණක් නොව බෝහෝ සිංහල කෑම කඩ හා හෝටල්වලද මිනිස්සුන්ට කෑමට දෙන්නේ සත්ව ආහාරවලට පවා නුසුදුසු ජරාවමය.

1] නරක්වූ මස් මාළු කුළුබඩු හා මිරිස් අධිකලෙස යොදා, බැදීමෙන් නරක්වූ රස නැතිකොට විකුණයි. මෙය සිදුවන්නේ මුස්ලිම් කඩවල පමණක් නොව. හැම සිංහල කඩයකම පාහේ මෙය සිදුවේ. 

2] බුරියානි, ෆ්‍රයිඩ් රයිස් සෑදීමට, කා පිගන්වල ඉතුරුවූ බත්, නරක්වූ බත් ආදිය සෝදා, අධිශීතකරණවල දමා පසුව නැවත උයාගනී. මෙය සිදුවන්නේ මුස්ලිම් කඩවල පමණක් නොව. හැම සිංහල කඩයකම පාහේ මෙය සිදුවේ.

3] කොත්තු හදන රොටියට ගන්නේ ඉතාම බාලම පිටි වර්ගය. ගුල්ලන් ගැසූ, නරක්වූ පිටි වලින් හැදූ රොටි වලින් රටේ මිනිස්සුන්ගෙන් බාගයක් පමණ රෑට ගිලදමන කොත්තුව සකස්වේ. මෙය සිදුවන්නේ මුස්ලිම් කඩවල පමණක් නොව. හැම සිංහල කඩයකම පාහේ මෙය සිදුවේ.

4] මුස්ලිම් පමණක් නොව සිංහල හෝටල්වලද උයන්නට ගන්නා එලවලු තත්වයෙන් බාල, බාගෙට කුණුවී, කුණුවූ කොටස් ඉවත්කොට ගන්නා ඒවාවෙ. එවැනි කුණු එළවළු, අළ, ලොකු ලූණු සුද්දකර විකුණන්නන් මැනිං මාකට් එක වැනි තැන්වල ඕනෑ තරම් දැකිය හැකිය.

5] කෑම සෑදීමට, බැදීමට ගන්නේ බාලම කොලිටියේ තෙල්ය. පොල්තෙල්, හා එලවලු තෙල් තොග ගණනේ විකුණන තෙල් කඩවල අඩුවටම ගන්න ඇති තෙල බොහෝ සිංහල, දෙමළ, මුස්ලිම් කඩවල කෑම සෑදීමට ගනී. එමෙන්ම එම තෙල් සියවාරයක් පමණ රත්කරමින් කළුවෙනතුරුම බැදීම සඳහා ගන්නා අතර මෙවැනි තෙල් නිතර නිතර ශරීරගතවීම දැඩි ලෙස අණතුරුදායකය

6] ඩෙවල් දැමීමට හා වෙනත් කෑම සෑදීමට ගන්න තක්කලි සෝස් හා වෙනත් සෝස් වර්ගවල නැත්තේම සෝස් පමණකි. විවිධ වර්ණක හා රසායණික මෙන්ම කෘත්‍රිම රසකාරද ඇතුලුව ඉතා ලාබෙට ගැළුම් ගණනින් විකුණන සෝස් පිටකොටුවේ 4වැනි හරස් වීදියේ ඕනෑ තරම් ගන්නට ඇත. මේ කුකුළ් සායම් සෝස් හදන්නේත්, මිළදීගෙන කෑමවලට දාන්නේත් මුස්ලිම් කඩකාරයන් විතරක් යයි සිතනවාද?

ඒ අනුව සිංහල හෝටල්කාරයා යනු සුදනන් නොව ඉඩ ලැබුනොත් බලුමස් හා පූස් මස්ද චිකන් කියා විකිණිය හැකි බුවාලා පිරිසකි. මුස්ලිම් හෝටල් කාරයාද එසේය. වෙනසකට ඇත්තේ චිකන් කියා බලුමස් විකුණන මුස්ලිම් හෝටල්කාරයා කිසිවිටකත් එය මුස්ලිම් මිනිහෙකුට  විකුණන්නේ නැත්වීමයි. උන් ඒවා විකුණන්නේ සිංහලුන්ට පමණකි. එත් චිකන් කියා බලුමස් විකුණන සිංහල හෝටල් කාරයා සිංහල බඩදරු අම්මා කෙනෙකුට වුවද හොඳම ඒවා නෝනා ගන්න කියා බලුමස් බුරියානි විකුණන්නේ දෙපාරක් හිතන්නේ නැතුවය.

BBS තියරිය හා අපේ තියරිය

මුස්ලිම් ව්‍යාපාරිකයින් හා තරඟකොට ජයගැනීමට සිංහල ව්‍යාපාරිකයින්ට නොහැකිවීමට, ගෑණුන් පමණක් නොව දැරිවියන් පවා විකාර ලෙස කළු ගෝනි බිල්ලන් ලෙස අන්දවාගෙන මහ පාරේ දක්කාගෙන යන අන්තවාදයට, නැගෙනහිර මුස්ලිම් කොල්ලන් හෙල්මට් නැතුව බයික් පැදීමට BBS යෝජනාකරන විසඳුම නම් මුස්ලිම් මිනිස්සුන්ට දැඩි පීඩනයක් ගෙනදීමයි. අලුත්ගම දර්ගා ටවුන් වැනි ක්‍රියාදාම වලින්, ත්‍රිවිධ හමුදාව යොදාගෙන මුසල්මානුවන් පීඩනයට ලක් කිරීම, ඔවුන්ගේ ව්‍යාපාර ගිණිතබා විනාශකිරීම, ව්‍යාපාරික ස්ථාන වලින් ඔවුන් පන්නා දැමීම, බලෙන් අල්ලාගෙන නැවත සිංහලුන්ට දීම, පල්ලි කඩා බඳ දැමීම ආදියයි.


ඉහත පෝස්ටුව බලන්න;
  • බේකරි කෑමවලට වඳ බෙහෙත් දමලා.
  • කෑම ඔතන ලන්ච් ශීට් එකේ ද්‍රාවණයක් ගාලා, ඒක පරීක්ෂාකලාම වඳ බෙහෙත් කියලා ඔප්පුවෙලා.
මේවා තනිකරම ජාතිවාදය අවුස්සන බොරු ප්‍රචාර නොවේද?

අඩුම ගණනේ ඔය කියන වඳ බෙහෙත මොන රසායණිකයක්දැයි කියන්නට ඒවා පරීක්ෂාකලා යයි කියන සෞඛ්‍ය පරීක්ෂකට හැකිද? සෞඛ්‍ය පරීක්ෂකලා රස පරීක්ෂකලා බවට පත්ව රසායණික ද්‍රව්‍ය හඳුනාගන්නට සුදුසුකම් ලැබුවේ කවදා සිටද?

ඒවා වඳ බෙහෙත් බවට ඔප්පුවූයේ මොන පර්යේෂණාගාරයේ පරීක්ෂණ වලින්ද?

එවැනි දෙයක් ආහාරවල ඇති බව තහවුරුවූ පසු එම සෞඛ්‍ය පරීක්ෂක ඒවා අදාල බලධාරීන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, පොලීසියට දැන්වූවාද? නොදැන්වුවා නම් එය මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු විසින් හිතාමතාම මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන දෙයක් රපෝර්තු නොකර සිටීමේ වරදට හසුවනවා නේද?

මේ කිසිවෙකට පිලිතුරු නැත. ඇත්තේ උදේ සිටන් රෑ වෙනතෙක් මිත්‍යාව වපුරණ ජනමාධ්ය සිදුකරන ජාතික අවැඩේ දුගුවක්ම නොවේද?

මුස්ලිම් ප්‍රජාවෙන් සියයට 1%කටත් අඩු; තෙල් සල්ලිවලට ආත්මය හා ගෑණිවත් විකුණන මුස්ලිම් අන්තවාදී  වහාබ් කාළකණ්නි නිසා 99%ක් මුස්ලිම් මිනිස්සුන්ට වද හිංසාදීම, දේපොල පැහැර ගැනීම, කිසිදු අයිතියක් නැති වහලුන්ට මෙන් සැලකීම, අන්තවාදීන් නොවන 99%ම ඊටත් එහා ගිය ත්‍රස්තවාදීන් බවට පත් කරගැනීමක් නොවන්නේද යන්න BBS විරුවන්ට නොතේරේ.

ඔවුන් හිතන්නේ මුස්ලිම් ලේ හැලීමෙන් ප්‍රශ්ණය විසඳය හැකියි කියායි. 1983 කළු ජූලියේදීද දෙමළ ලේ හලා ප්‍රශ්ණය විසඳාගන්නට ගොස් කරගත් හරිය මෙතරම් ඉක්මණට අමතකද? ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ පාදඩ ජාතියක් බවට පත්වූයේ 1983 කළු ජූලියෙනි.

ලෝකය පුරාම මුස්ලිම් අන්තවාදය පිලිලයක් මෙන් පැතිරෙමින් තිබේ. ඒ නිසාම මුස්ලිම් අන්තවාදය විනාශයේ ආරම්භයේ සිටින අතර අපි අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට හිරිහැර කොට ලෝක මුස්ලිම් අන්තවාදී විරෝදී සටෙනේදී අපට ලැබිය හැකි නිසැක වාසි අවාසි බවට පත්කරගන්නවාද යන්න සිතා බැලිය යුතුයි. 

අප කල යුත්තේ අපේ රට ගිණි තබාගැනීම නොව ඇමරිකානුවන් හා යුරෝපීයයන් ලවා මුස්ලිම් අන්තවාදය අතුගාවා ගැනීමයි. ඔවුන් එය ක්‍රමාණුකූලව කරනු ඇත. ඔවුන් මුස්ලිම් අන්තවාදය නැතිකරන්නේ ලන්ඩනයේ, නිව් යෝර්ක් නුවර, පැරිසියේ හෝ බර්ලිනයේ සිටින මුස්ලිම් මිනිසුන් මරාදමා, පල්ලි ගිණිතබා නොවේ.

99%ක් වන අහිංසක (අන්තවාදී අදහස් නැති) මුස්ලිම් මිනිස්සුන්ට වදහිංසා කොට මේ රට යලිත් මලමිණී දේශයක් කරගැනීමට වෙරදැරීම කොතරම් මෝඩ කමක්ද?

මුස්ලිම් මිනිසුන් දක්ශ ව්‍යාපාරිකයින් හා හැමවිටම තම වර්ගයා පිලිබඳව සිතන, කැක්කුමක් ඇති ජනවර්ගයකි. එහෙත් එයින් අදහස් කරන්නේ ඔවුන් ආක්‍රමණිකයින් බව නොවේ.

මුස්ලිම් මිනිස්සු ආක්‍රමණිකයන් ලෙස සළකනවා නම්, දැන් වසර 25-30 තිස්සේ ඔස්ට්‍රේලියාවට පවුල් පිටින් පදිංචියට ගොස් ඇති ලාංකිකයින් දකින සුදු ඔස්ට්‍රේලියානුවන්ට ලංකාවේ කළු සිංහලයින් මෙල්බර්න් නගරය ආක්‍රමණය කරනවායයි නොසිතෙන්නේද? විකිපීඩියාවට අනුව මෙල්බර්න් නගරය අයත් වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයින් 43,000ක් සිටී. සිඩ්නි අයත් නිව් සවුත් වේල්සයේ 23,000. මුලු ඔස්ට්‍රේලියාවේම ලාංකිකයින් 190,000ක් පමණ සිටී.

සිනාවට කාරණාව නම් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සිංහලයින්ද ලංකාවේ මුස්ලිම් ආක්‍රමණ ගැන කතාකිරීමයි. 

මුස්ලිම් ව්‍යාපාරික ශක්තියට මුහුණ දෙන්නේ කෙසේද?

මුස්ලිම් ව්‍යාපාරික ශක්තියට මුහුණ දෙන්නට නම් සිංහල ව්‍යාපාරිකයා පාරිභෝගිකයින්ට සැළකීමට ඉගෙන ගත යුතු නොවේද? පාරිභෝගිකයින්ට ඕනෑවට එපාවට සලකන, කඩයට, ශොප් එකට ආ පාරිභෝගිකයා හොරෙක් ලෙස සලකන,  බක පණ්ඩිත කතා කියන, කාන්තාවන්ට අවමන් කරන, මම දෙනදේ ගනින් යන මාන්නක්කාරී ආකල්පවලින් සිටින සිංහල ව්‍යාපාරිකයාට හරියයිද?

ෆැෂන් බග් එකට, නෝ ලිමිට්ස් එකට, ඒවායේ දියුණුවට වෛර බඳින සිංහලයන්, සිංහලයන් සතු හවුස් ඔෆ් ෆැෂන් ආදී ස්ථානවල පාරිභෝගිකයින්ට සළකන්නේ හොරුන්ට ලෙස බව නොදන්නේද? හව්ස් ඔෆ් ෆැෂන් එකේ බඩුවක් පරීක්ෂා කරනවිට එතනට දුවගෙන එන සේවකයෙකු හෝ සේවිකාවක් එම පාරිභෝගිකයා ලඟින්ම ඉඳගෙන ඇසිපිය නොහෙලා බලා සිටින බව ඔබ දන්නවාද? මොනවා හරි සාක්කුවේ දාගෙන යයි කියන බය නිසා එසේ කෙරෙරුවත් එන හැම එකාම හොරෙක් ලෙස සළකන්නට ගත්විට මිනිස්සු හවුස් ඔෆ් ෆැෂන් අතහැර යලි නෝ ලිමිට්ස්, ෆැෂන් බග් ආදියට නොයන්නේද?

ද ලවර්, ශ්‍රීනා පැලස් වැනි මුස්ලිම් ආයතනවලට මිනිස්සු රොක් වෙන්නේ ඒවායේ ඇති බඩු ලාබ නිසා නොව ඒවා ගන්නට වෙන තැන් හිඟ නිසා නොවේද? සිංහලයින්ට එවැනි බිස්නස් කරන්නට බැරි ඇයි? කෙරුවත් අසාර්ථක වන්නේ ඇයි?

සිංහල ව්‍යාපාරිකයා සැමවිටම අඩු වෙහෙසකින් විශාල ලාභ ලබන්නට උත්සහ කරයි. සුලු ලාභයක් තබාගෙන විශාල පාරිභෝගිකයින් ගණනක් සතුටුකොට ව්‍යාපාරය දියුණු කරගැනීමේ සංකල්පය සිංහල ව්‍යාපාරිකයින් අහලාවත් නැත. කොයි වෙලාවෙත් කණුකුණු ගාමින්, වාත වෙමින්, හරි පාඩුයි, වියදම් වැඩියි, මේ බිස්නස් එක කරලා වැඩක් නැති බව අඟවමින් හැසිරීම බොහෝ සිංහල ව්‍යාපාරිකයින්ගේ සිරිතයි. හැමදෑම දවස පටන් ගන්නේම මේ මුස්පේත්තු කතාවෙනි. සේවක සේවිකාවන් දකින්නේ තම දියුණුවේ කොටස් කරුවන් ලෙස නොව මාසෙකට වතාවක් තමන්ගේ සල්ලි වලින් කුට්ටියක් කඩාගන්නට ඉන්නා කම්මැලි හොරුන් පිරිසක් ලෙසිනි.

ඒ බිස්නස් එකම කරන මුසල්මානුවා මෝටර් බයිසිකලයෙන් KDH වෑන් එකටත් එතනින් කාර් එකටත් මාරු වෙමින් දියුණුවෙයි. කඩේද ලොකු කර ගනී. තවත් මුස්ලිම් එකෙක් දෙන්නෙකුට බිස්නස් එකක් පටන්ගන්නට කඩේ එලි පත්තේ හරි ඉඩක් දෙයි.

අපේ මිනිස්සුන් එසේ තව එකෙකුට ඉඩ නොදෙන්නේ ඊරිසියාවට වඩා බයටයි. එලි පත්තේ ඉඩක් අරගෙන බිස්නස් කරන්න දුන් සිංහල එකා එයින් දියුණුවී, මුදලාලිට පින්දෙමින් වෙනත් ලොකු කඩයක් අරගෙන බිස්නස් එක කරනවා වෙනුවට මුදලාලිගේ කඩයට කටුව ගසන්නට වෙරදරනු ඇතැයි සාධාරණ සැකයක් ඇතිකර ගැනීම නිසයි.

උදව්වට තැනක් දුන් විට කඩයට පමණක් නොව බිරින්දෑටද කටුව ගසා ගත් සිංහල බුවෙක් නිසා කඩයත්, ගෑණිත් නැතිකරගෙන පාරට බසින්නට සිදුවූ සිංහල මුදලාලිලාද සිටී.

සිල්ලර කඩ කෙරුවාවත් එසේම නොවේද? සමහර සිංහල කඩවල සිගරට් විකුණන්නේ නැත. සමහර ඒවාවල ලොකුවට බෝඩ් ගසා ඇතැත් සමහර කඩවල සිගරට් නොවිකුණන බව දැනගන්නට හැකිවන්නේ ඒවාට ගොඩවී සිගරට්ටුවක් ඉල්ලූ විටය. එවිට කඩේ මුදලාලී "සිගරට් නෑ.." යනුවෙන් ගොරවන අශිෂ්ඨ, පරුෂ විලාසය බොහෝවිට මුදලාලිගේ නෝනාගේ ගාණ කීයදැයි ඇසුවා මෙනි. එලෙස අකාරුණික සැලකූවිට, යලිත් වරක් සබන් කැටයක්, පිටි පැකට් එකක්, පරිප්පු පන්සීයක් ගන්නට ඒ සිංහල හෝතඹුවාගේ කඩයට ගොඩවන්නට සිතෙන්නට නම් රටේ කඩ සියල්ල වසා තිබිය යුතුය. සිංහල මුදලාලිලා මෙය තේරුම් ගන්නේ කවදාද? සිගරට් නොවික්කාට, පෝයට පන්සල් ගියාට, පාරිභෝගිකයින් කඩයට එනවා යයි සිතනවාද? එහෙම පිස්සන් සිටින නමුත් ඒ සිංහල හා මුස්ලිම් අන්තවාදීන් මෙන්ම සුලුතරයකි.

පරිගණක වෙළඳාම බලන්න....... අද පරිගණක වෙළඳාමත් තනිකරම මුස්ලිම් වී ඇත්තේ කාගේ වරදින්නද? කලක් පරිගණක එකලස් කොට විකුණූ ජගත් රොබොටික්ස් , ටෙක් ශ්‍රී ලංකා වැනි ආයතනවලට  (මෙයාලා ගැන මතකයක් වත් තියෙනවද මන්දා....අපිට නම් හොඳට මතකයි) අත්වූ ඉරණම කුමක්ද? ඒවා මුස්ලිම් කුමණ්ත්‍රණද නැතහොත් වැරදි ව්‍යාපාරික තීන්දු නිසා වූ දේවල්ද?

පරිගණක වෙළඳාමේ කලක් දැවැන්ත නමක් දිනාගෙන සිටි, IBM පරිගණකවල ප්‍රමුඛතම ශ්‍රී ලංකා ඒජන්තයාවූ ඊ-විස් ආයතනය අද පල්ලම් බැස ඇත්තේ මන්ද? කලක් එහි සේවය කල බැවින් ඔවුන් සිය සේවක සේවිකාවන්ට සැළකූ පහත් ආකාරය මම හොඳින්ම අත් දැක තිබුණෙමි. (දැන් තත්වය හොඳ වන්නට පුලුවන..) සේවක සේවිකාවන්ට හොරුන්ට මෙන් සලකමින්, බැන වදිමින්, මහන්තත්වයෙන් වැජඹුනු, නාටක නැටූ ඔවුන් කලක් රජයේ ටෙන්ඩර් දිනමින් පිම්බී සිටියද අද වනවිට කණගාටුදායක ලෙස පල්ලම් බැස ඇත්තේ මුස්ලිම් කොම්පියුටර් බිස්නස් කාරයින්ගේ වරදින් නොවන බව නම් හොඳා කාරවම දන්නෙමි.

පී.සී හවුස්ලා, බාක්ලේස්ලා, ටෙක්සෝන් ලා උඩට ආවේ අපේ ඊවිස්ලා, ටෙක් ශ්‍රී ලංකාලා, ජගත් රොබොටික්ස්ලා සේවක සේවිකාවන්ට නොසැළකූ, පාරිභෝගිකයින් රඳවා ගැනීමට අසමත් අදක්ෂ ව්‍යාපාරිකයන් වූ නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. දැවැන්තයන්වූ ඊවිස්ලා යට යන විට එකල තරුණ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත්ව තිබූ කුඩා  ඩී-බග් ආයතනය අද දැවැන්ත සමූහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. එකල් ප්‍රින්ටර් කාට්‍රිජ්, ටෝනර්, ෆොලොපී ඩිස්කට් විකුණමින් සිටි මේ මුස්ලිම් ව්‍යාපාරිකයා අද ඒ දැවැන්ත සමාගම් සමූහයේ අධිපති හා සභාපතිවේ  මෙහි සාර්ථකත්වය මුස්ලිම් අන්තවාදයද? වහාබ්වාදයද?

අපි සිංහල නිසා අපෙන් බඩු ගන්නට, මුස්ලිමුන්ගෙන් නොගන්නට සිංහලයින්ට යුතුකමක්, වගකීමක් ඇතැයි සිතාගෙන සිටීම මෝඩ කමකි. කවදාක්වත් එසේ නොවේ. ජාතිය අනුව බඩු ගන්නට යන්නේ බොහෝ සුලු පිරිසකි. ඒවාත් විශාල ආයෝජන වලදී පමණිකි. එදීනෙදා කොත්තු රොටිය, බනිස් ගෙඩිය, පාන් ගෙඩිය ගන්නට මිනිස්සුන්ට හරියට සලකන්නට දන්නේ නැති සිංහල කඩම හොයාගෙන ගාටන්නට වෙලවක් හෝ උනන්දුවක් කාටවත් නැත.

වෙනස් විය යුත්තේ අපිමය. ඒ මුස්ලිම් මිනිහාව කොන් කිරීමෙන් හෝ අඩම්තේට්ටම් කිරීමෙන් නොව, අපේ මිනිහාට හරියට සැළකීමෙනි. 

ව්‍යාපාරයේ ගැටලු ජයගත යුතු අභියෝග මිස, සේවකයින්ගේ වැරැද්ද, මුස්ලිම් තරඟ කරුවන්ගේ වැරද්ද  නැතිනම් ණයක් නොදුන් බැංකුවේ වැරද්ද, ආණ්ඩුවේ වැරැද්ද යයි නොසිතා දිරියෙන් ක්‍රියා කිරීමයි.

මුස්ලිම් ව්‍යාපාර මහින්දගේ ආණ්ඩුව යටතේද දියුණුවිය, චන්ද්‍රිකාගේ ආණ්ඩුව යටතේද දියුණු විය, ජේ ආර් හා ප්‍රේමදාස ආණ්ඩු යටතේද දියුණු විය, මේ ආණ්ඩුව යටතේද දියුණුවේ. ඒ ඔවුන්ට දේශපාලනයක් නැති නිසාය. කොයි ආණ්ඩුව තිබුණත් මුස්ලිම් බිස්නස් වැටෙන්නේ නැත. ඇත්ත කතාව එයයි.

දේශපාලනය බදාගෙන නා ගන්නේ සිංහලයින්ය.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments