ENVIRONMENT / CONSERVATION / WILDLIFE : කන්නෙලිය රක්ෂිත වනාන්තරය


හැඳින්වීම

කන්නෙලිය රක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ ඇති ඉතා සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස හැදින්විය හැකියි.රක්ෂිත වනාන්තරයක් යනු වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර වේ.  මේවා පස, ජලය සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වැදගත්වන වනාන්තර ප්‍රදේශ ලෙස හදුනාගෙන තිබේ. මෙම වනාන්තර තුළ පර්යේෂණ හා සුන්දරත්වය නැරඹීම හැරුන විට සීමිත සම්ප්‍රදායික කටයුතු සඳහා පමණක් අවසර දී තිබේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තූව මගින්  රක්ෂිත වනාන්තර පාලනය වන අතර ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වනාන්තර ප්‍රදේශයෙන් 55% කට ආසන්න ප්‍රමාණයක් කලමනාකරණය කරනු ලබන්නේ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනී ලෑලි සංස්ථාවේ  ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිශ්පාදනය සඳහා දැව ලබාගෙන ඇත්තේ මෙම ප්‍රදේශයෙන් බැවින් විශාල වන විනාශයක් සිදුව තිබෙනවා.  ඒ කාලයේ භාවිත කල තාර යෙදු මාර්ග අදත් වනාන්තරය තුළ දක්නට තිබෙනවා. මේ හේතුව නිසාම කන්නෙලියේ ප්‍රාථමික වනාන්තරය (primary forest) දක්නට ලැබෙන්නේ අඩුවෙන්. වනාන්තරය පුරා පැතිර පවතින්නේ ද්විතියික වනාන්තරයයි (secondary forest). එනම් අලුතින් වැඩුනු ශාකවලින් මෙම වනාන්තරයේ බොහෝ ප්‍රදේශ වැසී පවතිනවා. එහෙත් දැනට වසර 30-35ක් පමණ කාළයක සිට තුනී ලෑලි සඳහා දැව කැපීම නතර වී ඇති හෙයින් වනාන්තරය ඝනව වැඩී ඇති අතර වන විනාශයක් සිදුවී ඇති බවට සළකුණු මැකී තිබෙනවා.

පිහිටීම


ගාල්ල දිස්ත්‍රික්කයට අයත්ව උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 80°19. සහ 80°26. අතර පිහිටා ඇති මෙම වනාන්තරය හෙක්ටයාර 5305 පුරා පැතිරී පවතියි. එයින් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තර වලින්ද හෙක්ටයාර 168.4 විවෘත වනාන්තර වලින්ද හෙක්ටයාර 29.3 වන වගා වලින්ද සමන්විත වෙයි. කන්නෙලිය රක්ෂිත වනාන්තරය පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක්  වන අතර මෙය කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex)  අයත් වෙයි. මෙම කලාපයේ වනාන්තර පහතරට තෙත් කලාපීය වර්ෂා වනාන්තර ලෙස හදුන්වා දෙනු ලැබේ. දැනට රක්ශිත ලෙස යෝජනාකොට ඇති දෙදියගල හා නාකියාදෙනිය වනාන්තරද එක්ව ගත්කල කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය ලෙස හඳුන්වන මෙම මුලු ප්‍රදේශය හෙක්ටයාර 11,900 කින් සමන්විත වේ.

කන්නෙලිය වනාන්තරය ඇතුලත් ප්‍රදේශයට සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මි.මි. 4.445 වාර්ථා වෙයි.වැඩිම වාර්ෂාපතයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා  පවතින නිරිතදිග මෝසම් දේශගුණය මගින් ලැබේ.මෙම වනාන්තරය තුල පවතින මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 27 පමණ වේ.

වැදගත්කම

ශ්‍රී ලංකාවේ වර්ෂා වනාන්තර සැලකීමේදී සිංහරාජයට පසුව වැදගත්ම තැනක් හිමිවන්නේ මෙම සංකීර්ණයටයි. මෙම වනාන්තරය සතුව පවතින දිය පහරවල් 110 කට වැඩි ප්‍රමාණයක් දැනට හදුනාගෙන ඇති අතර එබැවින් මෙම කලාපය දකුණු පලාතේ පවතින වැදගත් ගංගා පෝෂක ප්‍රදේශයක් ලෙස නම් කර ඇත.

කන්නෙලිය රක්ෂිතය සැලකෙන්නේ Bio diversity hot spot හෙවත් ජෛව විවිධත්වය අනුව අතිශයින්ම වැදගත් වනාන්තර කලාපයක් ලෙසයි. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ කන්නේලියෙන් බවයි සැලකෙන්නේ.


එපමණක් නොව, 2004 වසරේදී මිනිසා හා ජෛවගෝල සංචිතයක් (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය ප්‍රදේශය නම්කොට තිබෙනවා. යුනෙස්කෝවේ ජෛවගෝල සංචිත සංකල්පයේ අරමුණ ජෛවගෝලීය වශයෙන් වැදගත් භූමි ප්‍රදේශයන් ආරක්ශා කිරීම හා එසේ කිරීමේදී එම ප්‍රදේශවල වාසය කරන ජනතාවද මෙම සංරක්ශණ කටයුතු සඳහා දායකකරගෙන එම ජනයාගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ක්‍රියාකිරීමයි (conservation with sustainable development).


මෙම සංකල්පයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය කන්නෙලිය රක්ශිතයේදී දැකගත හැකියි. කන්නලිය රක්ශිතයේ සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කරන්නේත් එහි බොහෝ රාජකාරි කටයුතු කරන්නේත් එම ප්‍රදේශයේම ගම්වැසි ජනතාවගෙන් තෝරාගත් පිරිසක් විසිනි. එමෙන්ම වනාන්තරයට හානියක් නොවන ලෙස යම් යම් නිශ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයාගැනීමටද ඉඩදී තිබෙනවා. ඒ අනුව කන්නෙලිය රක්ශිතයේ  ආරක්ශකයින් බවට එම ප්‍රදේශවාසි ජනයාම පත්වී තිබෙන්නේ රක්ශිතයෙන් ඔවුනට ආර්ථික වාසි ලැබෙන බැවින් එය ආරක්ශාකර ගැනීමේ වැදගත්කම ඔවුනට අවබෝධවීම නිසාය.

ජෛව-විවිධත්වය
කන්නෙලිය වනාන්තරය තුල සිදුකරනු ලැබු පර්යේශණ හා සත්ව සංගණන වලට අනුව ශාක , පදුරු හා පැලැටි වර්ග 301 හදුනා‍ගෙන ඇති අතර එයින 52% ක ප්‍රමාණයක් ආවේනික විශේෂ වේ.මෙම විශේෂ අතරින් විශේෂ 16 ක් අන්තර්ජාතිකව වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර විශේෂ  26 ක් ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

 වනාන්තරය තුල ඹෟෂධ ශාක වර්ග රාශියක් හමුවේ. ඒවා අතර බෙරලිය, වෙනිවැල්, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සදරාජ , වනරාජ, කොකුම්, දුම්මල, හාතාවාරිය යන ශාක මුල් තැනක් ගනියි. වනාන්තරය තුල සත්ත්ව විවිධත්වය සැලකීමේදී පක්ෂි වි‍ශේෂ 122ට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත.ඒ අතර ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂි  විශේෂ දෙකක් වන  බට ඇටි කුකුළා සහ කැහිබෙල්ලා ද දැකගත හැකිය


ශ්‍රී ලංකාවට ආ‍වේනික කළු වදුරා සහ මීමින්නා ඇතුලුව ක්ෂීරපායින් ව්ශේෂ 20 ක් මෙම වනාන්තරයේදි හමුවේ.වනාන්තරය තුල වාර්තා වන උභය ජීවි විශේෂ සංඛ්‍යාව 19 කි.මෙයට ආවෙනික රුක් මැඩියන් විශේෂද අයත් වේ. උරග විශේෂ 39 මෙම වනාන්තරයේ හමු වී ඇති අතර, ශ්‍රී ලංකජවට ආවෙනික පළා පොළගාද  මේ අතර වේ.





මීට අමතරව ශ්‍රී ලංකාවට ආවෙනික මහ කැලැ නිලයා ඇතුළු සමනළ විශේෂ 40 ක්ද මත්ස්‍ය විශේෂ 24 ක්ද වාර්තා වී ඇත.අන්තර්ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුන පා ඇති පතිරණ සාලයා සහ විල්පිට දන්ඩියා යන මත්ස්‍ය විශේෂයන්ද සුලභ ලෙස දැකිය හැකි ඉස්සන් ද මෙම වනාන්තරයේ වාසය කරයි.

කන්නෙලිය නැරඹීම

කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට  මගපෙන්වන්නෙකු ලබා ගැනීම අනිවාර්ය වේ.ප්‍රවේශපත්‍ර එකක මිල සදහන්වන්නේ රුපියල් 30  ලෙසයි. රක්ශිතය තුල වැදගත් ස්ථාන ආවරණය වන පරිදි මංපෙත් (trails) 6ක් සකසා ඇති අතර මෙම මංපෙත් කිහිපයක් ආවරණය වන පරිදි සංචරණ සැළසුම් (tour plan) 3ක් සකසා ඇත.

ගුහාව මංපෙත                : දුර ප්‍රමාණය  කිලෝමීටර 1.5 - ගතවන කාලය පැය 01යි.
අනගිමල ඇල්ල මංපෙත  : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි.
යෝධ පුස්වැල මංපෙත   : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3  - ගතවන කාලය පැය 03යි.
යෝධ නවඳගස මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2  - ගතවන කාලය පැය 03යි.
නාරංගස් ඇල්ල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2  - ගතවන කාලය පැය 06යි.
කබ්බලේ කන්ද මංපෙත : දුර ප්‍රමාණය  කිලෝමීටර 5.5    - ගතවන කාලය පැය 06යි.

මාර්ගෝපදේශක සදහා ගෙවිය යුතු මුදල තීරණය වන්නේ තෝරාගන්නා සැලැස්ම  අනුවයි.

සැලසුම් අංක 1 - ගුහාව මංපෙත + අනගිමල ඇල්ල මංපෙත + යෝධ පුස්වැල මංපෙත - කාලය පැය 03යි.
සැලසුම් අංක 2 - සැලසුම් අංක 1+ යෝධ නවඳගස මංපෙත + නාරංගස් ඇල්ල මංපෙත- කාලය පැය 06යි.
සැලසුම් අංක 3- කබ්බලේ කන්ද මංපෙත (ආපසු පැමිණීමේදි සැලසුම් අංක 1 ආවරණය කල හැක) -පැය 06යි.


ඔබේ සංචාරය පහසුකර ගැනීමට....

1] හැකිතාක් උදයෙන් පැමිණෙන්න. උදය 7-8 වන විට ඔබ උයනට ඇතුලුවන්නේ නම් උදයකාලයේ සැරිසරන පක්ශීන් හා සමනලුන් දැක බලාගැනීම හැකියාව ලැබෙනවා. එමෙන්ම වනෝද්‍යානයේ සියලු වැදගත් ස්ථාන දැක බලාගත හැකි පැය 6ක සංචරණ සැළසුම ප්‍රායෝගික වන්නේ හැකිතාක් උදයෙන් සංචාරය ආරම්භකල හොත් පමණයි. දවල් වන විට දැඩි හිරුරශ්මිය හා වැසිවනාන්තරයක් තුල ඇති වන දැඩි ආර්ධ්‍රතාවය (humidity) නිසා ඉතා වෙහෙසකර තත්වයක් නිර්මාණය විය හැකියි.

2] පානීය ජලය හැකිතාක් රැගෙන යන්න

3] නිහඬව ගමන් කරන්න. ශබ්දනගා කථා කිරීමෙන්, හිනාවීමෙන් හා විහිලුතහලු කිරීමෙන් වන ජීවීන්ට බාධා ඇතිවන අතර උන් සැඟවීම නිසා කළුවඳුරා, මීමින්නා, කැහිබෙල්ලා, බට ඇටි කුකුළා වැනි දුර්ලභ සතුන් දැක බලාගැනීමේ හැකියාව අහිමිවේ.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments