FUTURE : අපේ කියා දේවල් නැත්තටම නැතිවෙන අනාගතය


අපිට අයිති දේවල් අපේ සමාජ තත්වය, අපේ දියුණුව, අපේ ජීවන තත්වය කියාපානවා. අපේ රටේ මිනිස්සුන්ට වඩා ගොඩල් දේවල් මිළදී අරගෙන පාරිභෝජනය කරන ඇමරිකාව, බටහිර යුරෝපය වගේ රටවල්වල ජනතාව අපට වඩා දියුණු, ඉහල ජීවන තත්වයක් ඇති ජනතාවක් බවට පිලිගන්නවා. අංගසම්පූර්ණ නිවාසයක්, දුරකථන, අන්තර්ජාල සබඳතාවය, රූපවාහිණිය, ගුවන්විදුලිය, ගෘහ උපකරණ, මෝටර් රථය ආදී දේවල් වල අයිතිය අනුව රටක සංවර්ධනය, ජීවන තත්වය ගැන ඇස්තමේන්තු කරන ප්‍රමිතික ක්‍රම (metrics) ආර්ථික විද්‍යාඥයින් භාවිතා කරනවා. 

ඒ අනුව, අපි කවුද, ජීවත් වන්නේ කෙලෙසද, අපගේ සමාජ තත්වය කුමක්ද යන්න තීරණය වන්නේ අපට අයිතිදේවල් වලට අනුවයි.

එහෙත් මේ යතාර්ථය දැන් වේගයෙන් වෙනස් වෙමින් යනවා. විද්‍යාඥයින් හා සමාජ විශේෂඥයින් පවසන අන්දමට අනාගත ලෝකයේ අපගේ කියා අප මිලදී ගන්නා, අයිති දේවල් බොහෝ සෙයින් අඩු ලෝකයක් වනවා.

මේ සඳහා උදාහරණ දැනටමත් දකින්නට තියෙනවා. ඩිජිටල් තාක්ෂණයේ හා අන්තර්ජාල සේවාවල දියුණුවත් සමග සංගීත CD තැටි හා චිත්‍රපට DVD තැටි අලෙවිය සීග්‍ර ලෙස පහතවැටී තිබෙනවා. නීති විරෝධීව සොරෙන් බාගත කරගන්නා සංගීත හා චිත්‍රපට අමතක කොට දැමුවත් අද බොහෝ රටවල සංගීත ලෝලීන් සිය සංගීත රසාස්වාදය ලබා ගන්නේ ඇපල් iTunes හා Spotify වැනි සංගීත සේවාවලින්. ඉතා කෙටිකාලයක් තුල Netflix හා  ඊට සමාන වීඩියෝ ස්ට්‍රීමිං සේවා චිත්‍රපට හා ටී.වී සීරීස් DVD අලෙවිය සීග්‍රලෙස පහල වට්ටවා තිබෙනවා.

මේ ප්‍රපංචයෙන් අපට අවබෝධකරගත හැක්කේ සංගීත හා චිත්‍රපට වැනි ශ්‍රව්‍ය දෘෂ්‍ය අන්තර්ගතයන් (audio-visual content) ඩිජිටල්කරණයවීමෙන් පසු ඒවා අයිතිකරගන්නා භාණ්ඩ (ownership goods) තත්වයෙන් මිදී අවශ්‍යවිට ලබාගත හැකි සේවා (on demand services) බවට පත්වෙමින් ඇති බවයි. 

මෙවැනිම දෙයක් මෘදුකාංගවලටද සිදුවී ඇත. මේ වනවිට මයික්‍රොසොෆ්ට් සමාගම සිය වින්ඩෝස් මෘදුකාංගය අලෙවිකිරීමකින් තොරව ඕනෑම කෙනෙකුට නොමිලේ දෙන්නට තීරණය කොට ඇති අතර ඉදිරියේදීද වින්ඩෝස් යාවත්කාලීන කිරීම් නොමිලයේම සැපයෙනු ඇත. එවැනිම පරිවර්තනයක් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයටද සිදුවෙමින් ඇති අතර නුදුරේදීම ඔෆිස් පැකේජ මුදෘකාංග විකිණීම වෙනුවට Software as a Service (SaaS) මාදිලියෙන් වාර්ශික දායක මුදලකට (annual subscription) සැපයෙන Office 365 නම් සේවාවක් බවට පත්වෙනු ඇත.

Amazon Cloud, Microsoft Azure යනාදී සේවාවන් නිසා සමාගම් වලට පරිගණක සර්වර් හා විශාල දත්ත ගබඩා මිළදීගෙන පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය බොහෝ දුරට අහෝසිකර ඇත. ඒ වෙනුවට අන්තර්ජාලය හරහා ලබාගන්නා සේවාවක් බවට පරිගණක සේවා පත්වී ඇත. Amazon.com   සමාගම හා ටැබ්ලට් පරිගණකවල දියුණුව නිසා අදවනවිට මුද්‍රිත පොත් හා සඟරාද අලෙවිය පහත වැටෙමින් අතර බොහෝ විශ්වවිද්‍යාල පවා සිය සිසුසිසුවියන්ට නිර්දේශිත පොත් නිකුත්කරන්නේ අඩුමිල ඊ-පොත් ලෙසිනි. විශ්වවිද්‍යාල පුස්තකාල පවා අභාවයට යමින් ඇති අතර ගූගල් වැනි සමාගම් සමාජ සත්කාරක සේවාවක් ලෙස පුස්තකාල වල ඇති පැරණි පොතපත පවා ඩිජිටර් පිටපත් බවට පත්කරමින් සිටී.

සංචරණය හැකියාව හෙවත් මොබිලිටි  මිනිසාට ඉතා වැදගත්ය. බයිසිකලයක්, මෝටර් බයිසිකලයක්, කාරයක් ආදී වශයෙන් විවිධ සංචරණ උපකරණ අප මිලදී ගන්නේ ඕනෑම මොහොතක අවශ්‍ය තැනකට යාමේ හැකියාව ඉතා වැදගත් නිසාය. පොදු ප්‍රවාහණ සේවා සංචරණ හැකියාව යම් පමණකට සේවාවක් ලෙස ලබාදුන්නද, අපට කැමතිවේලාවක, අපට කැමති තැනකට යාමේ හැකියාව කාළසටහන් අනුව, නිෂ්චිත මාර්ගවල ගමන් කරන පොදු ප්‍රවාහණ සේවා අසමත්වේ. පෞද්ගලික වාහන මෙතරම් ජනප්‍රියව ඇත්තේත් ඒ නිසාමය.


නිදහස් සංචරණ හැකියාව සේවාවක් ලෙස (mobility as a service) ලබාදිය හැකි බව මුලින්ම ව්‍යාපාරික සංකල්පයක් ලෙස ඉදිරිපත් කොට ක්‍රියාත්මක කලේ ඌබර් ටැක්සි සේවාව මගිනුයි. ඕනෑම කෙනෙකුට සිය වාහනයේ ගෙවන මගියෙකු ගෙනයාමේ අවස්ථාව හා මගීන්ට ස්මාර්ට්ෆෝන් ඇප් එකක් මගින් තමන් සිටිනා ස්ථානයේ සිට අවශ්‍ය ස්ථානයට පහසුවෙන් ගෙනයාහැකි රථයක් සම්බන්ධ කිරීම ඌබර් ව්‍යාපාරික මොඩලයේ සරල ක්‍රියාකාරිත්වයයි. පූර්ණ ස්වයංධාවනය ඇති රොබෝ කාර් හා වෙනත් වාහන වැඩිවීමත් සමගම සේවාවක් ලෙස සංචරණ හැකියාව විශාල ලෙස වර්ධනය වෙතැයි බලාපොරොත්තු වන අතර එවිට වාහන පුද්ගලයින් විසින් මිළදීගැනීම, විශේෂයෙන් එක් පවුලකට වාහන දෙක තුනක් මිළදී ගැනීම අඩුවනු ඇත.

තාවකාලික නවාතැන් පොලවල් මෙන්ම කුලී නිවාස සැපයුමද සේවාවක් ලෙස ජනප්‍රිය කරවීම AirBnB නම් සේවාව මගින් ආරම්භ කොට ඇත. AirBnB සේවාව ඌබර් සේවාවට සමානය. ඕනෑම කෙනෙකුට තම අමතර නිවස හෝ තම නිවසේ හිස් කාමරයක් දෙකක් කෙටි නැවතීම් වලට හෝ දීර්ඝකාලීන කුලී පදනම මත ලබාදීමේ හැකියාව AirBnB මගින් නිවාස හිමියන්ට ලැබෙන අතර පාරිභෝගිකයින්ට සිය ස්මාර්ට්ෆෝනය හරහා දිනකිහිපයක් නැවතීමට හෝ මාසගණනාවක් නැවතීමට නිවාසයක්, කාමරයක් හෝ හෝටල් කාමරයක් ලබාගැනීමේ හැකියාව ලැබී ඇත.

ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් හා ස්මාර්ට්ෆෝන් වලටද මෙම සංසිද්ධියම විය හැකිය. අදවනවිටත් ගූගල් ක්‍රෝම්බුක් ලැප්ටොප් වැනි අන්තර්ජාල ක්ලවුඩ් සේවාව හා තදින් බැඳී ඇති ලැප්ටොප්වල ඇති සියලුම මෘදුකාංග ක්ලවුඩ් සේවාව හරහා ක්‍රියාත්මකවන අතර ගිණුමට ඇතුලුවීමෙන් පසු පෞද්ගලික රුචි-අරුචිකම් හා සීරුමාරු කිරීම් සියල්ලම පරිගණකයේ ස්ථාපනය වේ. සමාන්‍ය පරිගණකයක වුවද ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයක් ගූගල් ගිණුම හරහා ලොග් වී භාවිතා කරනවිට ඔඅබගේ බුක්මාර්ක්, මුරවචන යනාදී සියල්ලම ගූගල් ගිණුමේ යාවත්කාලීන වන නිසා ක්‍රෝම් බ්‍රව්සයක් ඇති ඕනෑම පරිගණකයකින් තමන්ගේම පරිගණකයේ ආකාරයට අන්තර්ජාලයේ සැරිසැරිය හැකිය.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments