WHEN WE WERE SCHOOL KIDS : සැබෑ නොවුනු වෝක්මන් සිහිනය :(


අපි, ඒ කිව්වේ අපේ පරම්පරාවේ කට්ටිය ඉස්කෝලේ ගියේ දැන් කාලෙකට ඉස්සරින්. හරියටම කියනවනම් 1977 ඉඳන් 1990 වෙනකම් තමයි අපේ පරම්පරාවේ අය ඉස්කෝලේ ගියේ. අපිට සුන්දරම පාසැල් කාළය වුනේ අටේ පංතියේ විතර ඉඳන් ඒ.ලෙවල් වෙනකන් කාලේ. ඒ කාලේ තමයි අපි ගෑණු ළමයි ගැනත් උනන්දුවෙන්න පටන් ගත්තේ. දන්නේ නැති අයට දැනගන්නත් එක්ක කියන්න ඕනේ අපි ඉකෝලේ ගියේ පාසැල් බස් රථයේ, ඒ කියන්නේ ස්කූල් බස් එකේ. දැන් වගේ ස්කූල් වෑන් වැහි වැහැලා තිබුණේ නෑ ඒ කාලේ. බිග් මැච් කාළෙට බස් එක වැහෙන්න කොඩි විතරක් නෙමෙයි කොළ අතුත් එල්ලගෙන බස් එක තොරණක් කරගෙන පුදුම සතුටකින් තමයි පාසැල් ගියේ. දැන් වගේ බස් වල යන්න සල්ලි දුන්නෙත් නෑ අපේ තාත්තලා. අරගෙන දුන්නේ මාසෙටම යන්න පුලුවන් සීසන් ටිකට් එකක්. ඒ කිව්වෙ මාසික වාර ප්‍රවේශ පත්‍රයක්. දැන් ඉතින් ඒවා නෑනෙ.

දැන් කාලේ ඉස්කෝලෙ යන ළමයි සිහින මවන්නේ අලුත්ම අයිෆෝන් එකක් ගන්න, අයි පෑඩ් එකක් නැතිනම් අලුත්ම ගැලක්සි ටැබ් එකක් ගන්න. සමහර අය ලැප්ටොප් එකක් ගන්නත් සිහින මවනවා ඇති. අද අයිපෑඩ් එකක් සමග පෙනීසිටීම කොතරම් උන්මාදයක් වෙලාද කිව්වොත් සමහර ඉස්කෝලෙ යන වයසේ ළමයි කඩේට පාන් ගන්න එන්නේ, නැතිනම් දෙමව්පියන් එක්ක මැක්ඩොනල්ඩ්ස් එකට එන්නෙත්, දානෙ ගෙදරකට මළගෙදරකට යන්නෙත් අයිපෑඩ් එක අරගෙන. ඒක පාවිච්චි කරනවාට වඩා වටේට කරකවමින් පෙන්වන එක තමයි බොහෝවිට සිදුවන්නේ.

අපේ කාලේ, ඒ කියන්නේ 1980 ගණන්වල ඉස්කෝලේ යන කොල්ලෙකුට තියෙන්න පුළුවන් සිරාම ගැජට් එක තමයි.. "සෝනි වොක්මන්" කියන ජංගම කැසට් ප්ලේයර් එක. ඒව එකක් තියෙන එකා ඉස්කෝලේ ගැජට් කිං.

රජයේ සේවකයින් වුනු අපේ අම්මටයි තාත්තටයි ඕවා අපිට අරන්දෙන්න සල්ලි තිබුණේ නෑ. ඒත් ඉතින් අපි හරිම ආසයි වෝක්මන් එකක් කනේ ගහගෙන සිංදුවක් අහන්න. ඒකාලේ වෝක්මන් වගේ ගැජට් තිබුණේ පිටරට වැඩකරන දෙමව්පියෙක් හරි ලඟ නෑයෙක් හරි ඉන්න අයට විතරයි. ලංකාවේන් ගන්නවානම් ඒ කාලේ හැටියට ලොකු ගාණක් වුනා. මොකද ඉතින් දැන් වගේ චීන බඩු හදපු කාලයක් නෙමෙයිනෙ. සෝනි වෝක්මන් නම් මේඩ් ඉන් ජැපෑන් තමයි.


ජපානයේ සෝනි සමාගම ඔවුන්ගේ ඉතිහාසයේ ඉදිරිපත් කරපු හොඳම නිර්මාණයක් විදියට සෝනි වෝක්මන් ජංගම කැසට් ප්ලේයරය හඳුන්වන්න පුලුවන්. 1979 ජූලි 1වැනිදා ජපානයේ වෙලඳපොලට ඉදිරිපත් කරපු වෝක්මන් එක අමෙරිකන් වෙළඳපොලට එන්නේ 1980 ජූනි 1වැනිදා. ස්ටීරියෝ ක්‍රමයට හෙඩ් ෆෝන් ආධාරයෙන් සංගීතයට සවන්දෙන්න පුලුවන් විධියට නිර්මාණය කර තිබුනු වෝක්මන් එකේ තවත් විශේෂත්වයක් නම් හෙඩ් ෆෝන් දෙකක් සම්බන්ධ කරන්න පුලුවන් විධියට නිර්මාණය කොට තිබීම. තරුණ තරුණියන් ඉලක්ක කරගෙන නිර්මාණය කරලා තිබුණු නිසා යාළුවන් දෙදෙනෙකුට නැත්නම් පෙම්වතාට හා පෙම්වතියට එකට ඉඳගෙන සිංදු අහන්න පුලුවන් වෙන්නයි ඒ විධියට හෙඩ්ෆෝන් දෙකක් සම්බන්ධ කරන්න පහසුකම් සපයලා තිබුණේ.


AA ප්‍රමාණයේ බැටරි දෙකකින් බල ගැන්වුනු වෝක්මන් ස්ටීරියෝ ප්ලේරය ඒ කාලයේ හැටියට ඉතා හොඳ තත්වයේ සංගීත නාදයක් ලබා දුන්නා. ඩොල්බි ස්ටීරියෝ නොයිස් රිඩක්ෂන් තාක්ශණය හා බේස් බූස්ට් තාක්ශණය අඩංගු කරලා තිබුණ නිසා අධික මිළගණන් වලට විකුණුනු ලොකු කැසට් ප්ලේයර් වලින් ලැබුණු ප්‍රතිවාදන තත්වයට සමාන ප්‍රතිවාදන තත්වයක් වෝක්මන් එකෙන් ලබා දුන්නා.

වෝක්මන් ජංගම ප්ලේයරය මගින් ලොව පුරා සංගීත කර්මාණ්තයට ලබාදුන්නේ ඉමහත් රුකුලක්. ව්‍යායාමය සඳහා දුවන ගමන්, ඇවිදින ගමන්, බස් එකේ/කෝච්චියේ වැඩට යන ගමන්, පාසැල් යන ගමන් සිංදු අහන්න අවස්ථාව වෝක්මන් එක මගින් ලබා දුන්නා. අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය වගේ රටවල වෝක්මන් එකකින් සිංදු අහන ගමන් ජොගින් යන එක තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය වුනා. හොලිවුඩ් චිත්‍රපටවල ඒකාලෙ බොහෝ තරුණ චරිත වෝක්මන් භාවිතා කරමින් සිංදු අහන චරිත නිසා වෝක්මන් උන්මාදය ලොව පුරා පැතුරුනා.


මේ උන්මාදයට "Walkman Effect "  කියලා නමකුත් පට බැඳුනා. වොක්මන් ජංගම සංගීත කැසට් ධාවකයෙන් තරුණ පරපුරට ඇතිවුන බලපෑම් ගැන පර්යේෂණ පවා සිදුවුනා. ඔවුන්ගේ එක් සොයාගැනීමක් වන්නේ වෝක්මන් වැනි ජංගම සංගීත යන්ත්‍රයකින් සංගීතයට සවන්දීමෙන් ඉතාම නීරස රැකියා හා ක්‍රියාකාරකම් වල නීරස හා ඒකාකාරි බව අඩු කරන්නට හේතු වන බව. උදාහරණයක් විධියට උදය කාලයේ ව්‍යායාම සඳහා දිවීම වැනි ක්‍රියාකාරකම් වල යෙදීම උනන්දුකරවීමට මේම යන්ත්‍ර හේතුවුන බව සොයා ගැනුනා. ඉන්ධන පිරවුම් හල්, කුඩා හෝටල් හා නවාතැන් පොලවල්, වෙනත් රාත්‍රියට පවා සේවා සපයන ස්ථානවල රාත්‍රී වැඩමුරයේ කම්මැලිබව හා නිදිමත නැතිකර ගන්නට වෝක්මන් එක බොහෝ පිහිට වුනා.

හොඳ වගේම වෝක්මන් එෆෙක්ට් එකේ නරකත් තිබෙන බව සොයා ගැනුනා. ප්‍රධාන වශයෙන්ම තරුණ තරුණියන්ගේ කන් ඇසීම අඩුවීමට වෝක්මන් හෙඩ්ෆෝන් භාවිතයෙන් උස් හඬින් සංගීතයට සවන්දීම හේතු වුනා. ඒ වගේම සමාජයෙන් ඈත්ව හුදෙකලා වීමට වෝක්මන් උපකාරී වීමත් සමාජ සම්බන්ධතා වලට එතරම් හොඳ නැති බව පර්යේෂකයින්ගේ මතය වුනා.

කාත් එක්ක වත් කතාකරන්නේ නැතුව මුලු දවසම වෝක්මන් එකෙන් සිංදු අහන තරුණ පරපුරක් ඒ කාලේ බිහිවෙමින් තිබුණා. අද ස්මාර්ට්ෆෝන්, අයිපොඩ් හා අයි පෑඩ් වගේම අන්තර්ජාලයේ සමාජ ජාල, එදා වෝක්මන් එක නවත්තපු තැනින් පටන්ගෙන තරුණ තරුණියන්ව තමන්ගේ කාමරවලට කොටු කරන්නට හේතුවෙලා.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments