BUSINESS STRATEGY : ලංකාවේ නැතත් බටහිර ව්‍යාපාරික ලෝකය උඩු-යටිකුරු කරන "මිලෙනියල්ස්"


මිලෙනියල්ස්ලා, නැතිනම් ජෙනරේෂන් ‍Y කියලා සමාජ විද්‍යාඥයින් හඳුන්වන පරම්පරාව 1980 ගණන්වල සිට වසර 2000 පමණ කාළය දක්වා මෙලොව එලිය දුටු පරම්පරාව ලෙස විකිපීඩියා හඳුන්වා දෙනවා. ඒ අනුව මේ වෙනකොට අවුරුදු 40ට ආසන්න වයසේ සිට අවුරුදු 17-18 වයස් කාණ්ඩ දක්වාම මිලෙනියල්ස් පරම්පරාවේ සාමාජික සාමාජිකාවන් සිටිනවා. තාක්ෂණික මෙවලම් හා අන්තර්ජාලය භාවිතය අතරින් මිලෙනියල්ස්ලා ඉදිරියෙන්ම සිටිනවා. වැඩියෙන්ම ජංගම දුරකථනවල ඇලී ගැලී සිටින්නේද මිලෙනියල්ස්ලායි.

Business Insider ව්‍යාපාරික සඟරාවේ පලවූ මිලෙනියල්ස් පරම්පරාව ගැන ලියවුනු ලිපියක් නිසා මෙය ලිවීමට සිත්වූ අතර ඒ සඳහා මූලාශ්‍ර පරීක්ෂාකරන විට ලංකාවේ මිලෙනියල්ස් පරම්පරාව ගැන ලියැවුනු වැදගත් ලිපි කිහිපයකුත් හමුවුනා. ඒ අනුසාරයෙන් දැනගත් වැදගත් කරුණු කිහිපයක් මෙලෙස සටහන් කරනවා.

මිලෙනියල් ශ්‍රම බළකාය

සේවා ස්ථානවල මිලෙනියල් පරම්පරාවේ හැසිරීම් හා ඔවුන්ගේ රැකියා රුචි අරුචිකම් අධ්‍යයනයේදී ඔවුන් වැඩි ප්‍රතිශතයක් පැය 8ක සේව මුරයකට අකමැති බව පෙනී ගොස් තිබෙනවා. මිලෙනියල්වරුන් වඩාත් ආකර්ෂණය වන්නේ සුනම්‍ය වැඩමුර (flexible working) ඇති සමාගම් වලටයි. එමෙන්ම පරිසරය පිලිබඳව වැඩි අවධානයක් යොමුකරන මිලෙනියල් පරම්පරාව පරිසර ආරක්ෂණය, හරිත ව්‍යාපාර සංකල්ප වැලඳගත් සමාගම්වල සේවයට වැඩි රුචිකත්වයක් දක්වන බව පෙනී ගොස් තිබෙනවා.

මේ පරම්පරාව සිය වෘත්තික දිවියේදී ධනාත්මක ආකල්පවලින් හෙබි,  අභිමානවත් පෞරුෂත්වයක් පෙන්වන කුළකයක් වන අතර ඔවුන් නිතරම සිය කාර්යසාධනය (performance) පිලිබඳව ප්‍රතිචාර (feedback) අපේක්ෂා කරනවා. එමෙන්ම මිලෙනියල් සේව්‍ය පරම්පරාව රැකියාවේ විවිධත්වයක් අපේක්ෂාකරන අතර ඒකාකාරී රැකියාවන් ඔවුන්ව ඉක්මණින් විඩාපත් කරනවා. විවිධත්වයට ආකර්ෂණය වන මොවුන් විවිධ කුසලතා අවශ්‍ය කාර්යයන් තමන්ට හොඳින් කල හැකිබවට විශ්වාසයෙන් පසුවනවා.


සිය කළමණාකරුවන්ගෙන් නායකත්වය හා මගපෙන්වීම බලාපොරොත්තුවන මිලෙනියල් සේවකයා සිය ජේෂ්ඨයින් තමන්ගේ හැකියාවන් හා අදහස්වලට නිසි තැන හා ගෞරවය ලබාදෙතැයිද අපේක්ෂාකරනවා.

ඒකාකාරී, රැකියාවේ පමණක් එල්බගත් ජීවිතය අප්‍රිය කරන මොවුන් රැකියාවෙන් පරිබාහිර සමාජසත්කාර කටයුතු, පරිසර සංරක්ෂණ කටයුතු, ක්‍රීඩා හා ව්‍යායාම සඳහාද  කාළය වැය කිරීමට ප්‍රිය කරනවා. එනිසාම සිය සේවාස්ථානයෙන් සුනම්‍ය සේවාමුර අපේක්ෂාකරන අතර රැකියාව ජීවිතය කරගැනීම අපේක්ෂාකරන සමාගම් වල සේවය කිරීමට මොවුන් අකමැතිවනවා.

සිය වෘත්තික දිවිය විවිධ ඉලක්ක අනුව සකසා ගැනීමට කැමති මිලිනියල් සේවා නියුක්තියා සිය වෘත්තික ජීවිතයේ පියවරෙන් පියවර ඉහල නැගීම සඳහා තමන් කලයුතුදෑ පිලිබඳව දැනුවත්වීම වැදගත් ලෙස සළකන අතර ඒ සඳහා වැදගත්වන ප්‍රධාන කාර්යසාධන දර්ශක (Key Performance Indicators) ලබාදෙනු ඇතැයි අපේක්ෂාකරනවා.  එමෙන්ම  එම දර්ශක අනුව තමන්ගේ කාර්යසාධනය පිලිබඳව නිවැරදි තොරතුරු හා ප්‍රතිචාර බලාපොරොත්තු වනවා.

මිලෙනියල් පරම්පරාවේ පාරිභෝජන රුචි අරුචිකම්

මිලෙනියල් පාරිභෝජන රටා හා මිලදීගැනීමට පෙළඹීමේ හේතු අධ්‍යයනයේදී ඔවුන් වෙළඳ දැන්වීම් පිලිබඳව සෘණාත්මක ආකල්පවලින් යුතු බව පෙනීගොස් තිබෙනවා. ඒ අනුව ආකර්ෂණීය වෙළඳ දැන්වීම්, පීඩන වෙළඳ උපක්‍රම (pressure selling tactics) මගින් මිලෙනියල් පාරිභෝගිකයා පොළඹවාගැනීම අපහසුයි.

එමෙන්ම මොවුන් බහුභාණ්ඩික පාරිභෝජන (materialistic consumption) රටාව අප්‍රිය කරන බවත් අඩු භාණ්ඩ ප්‍රමාණයක් හිමිකරගනිමින් සරල ජීවන රටාවකට (minimalist living) ප්‍රියකරන බවත් පෙනීගොස් තිබෙනවා. භාණ්ඩ වෙනුවට නවමු අත්දැකීම් ලබාගැනීම සඳහා වැඩි මුදලක් වියදම් කිරීමට මිලෙනියල් පරපුර පෙළඹෙනවා.

ගණුදෙනු කිරීමට සේවාදායක සමාගමක් හෝ මිලදීගැනීමට සන්නාමයක් පිලිබඳව සොයාබලන විට මිලෙනියල් පරම්පරාව අව්‍යාජත්වය (authenticity) හා සමාජ හා පරිසර හිතකාමීත්වය ඇති සමාගම් හා සන්නාම සමග ගණුදෙනු කිරීමට රුචිකත්වයක් දක්වනවා.



එමෙන්ම මිලෙනියල් ප්‍රජාව සිය පාරිභෝගික අවශ්‍යතා ඉටුකරගැනීමේදී භාණ්ඩ මිළදීගැනීමට හා අයිතියේ වගකීම (burden of ownership) ලබාගැනීමට වඩා මිළක් ගෙවා සිය අවශ්‍යතාවය ඉටුකරගැනීමට හැකි මාර්ග ප්‍රිය කරන බව පෙනීගොස් තිබෙනවා. ලංකාවේ තවමත් ජනප්‍රිය නොවුන, එහෙත් බටහිර රටවල අතිශයින්ම ජනප්‍රිය වී ඇති බෙදාහදාගෙන පාරිභෝජනය කිරීමේ ආර්ථික රටාව (sharing economy) මිලෙනියල් ප්‍රජාවගේ මේ සුවිශේෂී අවශ්‍යතාවය පාදකකරගෙන බිහිවී ඇතැයි බටහිර ආර්ථික විශේෂඥයින් පවසනවා.

ඒ අනුව වාහනයක් මිළට ගැනීම වෙනුවට Uber, Lyft වැනි පොදු වාහන සේවාවලින් තමන්ගේ ගමන් පහසුව සළසා ගැනීම, තමන්ගේම නිවාස වෙනුවට AirBnB වැනි සේවාවලින් තම රුචිකත්වය අනුව කාමරයක්, නිවසක් හෝ බෝඩිමක් සොයා ගැනීමට මොවුන් පෙළඹී තිබෙනවා. ඒ අනුව නිවාස නඩත්තුව, වාහන නඩත්තුව ආදී කරදරකාරී වගකීම් වලින් මිදී නිදහසේ ගතකිරීමට මොවුන් අවස්ථාව සළසාගෙන තිබෙනවා.

මිලෙනියල් වරුන්ගෙන් ජවය ලබාගන්නා ෂෙයාරින් ඉකොනොමි සේවා සපයන ආයතන වලින් සපයන සේවාවල වටිනාකම වසර 2030 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 530ක් පමණ වනු ඇතැයි ඇස්තමේතුකොට තිබෙනවා.

ලංකාවේ මිලෙනියල් පරපුර

මිලිනියල් පරපුරේ හැසිරීම් රටා පිලිබඳව ලංකාවේ පර්යේෂණ සිදුකොට ඇත්තේ අවමයෙන්. ඒ නිසා මිලෙනියල් වරුන් පිලිබඳව සාකච්ඡා කෙරෙන බොහෝ අවස්ථාවලදී බටහිර පර්යේෂණ ප්‍රතිපල හා නිගමන ඔස්සේ යාමට අපට සිදුවනවා. එහෙත් සත්‍යවශයෙන්ම ලංකාවේ මිලෙනියල් තරුණ කැළ මේ බටහිර පන්නයේ හැසිරීම් රටා පෙන්වනවාද?

යම් යම් ආකාරවලින්, විශේෂයෙන්ම පෞද්ගලික නිදහස, අධ්‍යාපන අවස්ථා, නව තාක්ෂණය හිමිකරගැනීමට ඇති අවස්ථා අනුව ලංකාවේ මිලෙනියල් තරුණකැළ සිය බටහිර අනුප්‍රාප්තිකයින්ට සමාන වන අවස්ථා දකින්නට පුලුවන්. එහෙත් සැබෑලෙසම ගත්කල ලංකාවේ මිලෙනියල් පරම්පරාව ශ්‍රී ලංකාවට ආවේණිකවූ සමාජ, ආර්ථික, ආගමික හා සංස්කෘතික බැඳීම් වලින් සීමාවී සිටින අතර ඔවුන්ට ඇමරිකාවේ හෝ බටහිර යුරෝපයේ නැතිනම් ඔස්ට්‍රේලියාවේ මිලෙනියල් තරුණ තරුණියට ඇති අවස්ථා හා නිදහසින් අල්පයකට පමණක් හිමිකම් කියන බව පෙනී ගොස් තිබෙනවා.

උදාහරණයක් ලෙස උගත් ලාංකික තරුණයෙකුට හෝ තරුණියකට රැකියාව සඳහා සමාගමක් තෝරාගැනීමේදී, බටහිර උගත් මිලෙනියල් තරුණ කැළට මෙන්, එම සමාගමේ සමාජ සත්කාර පසුබිම, පරිසර සංරක්ෂණ ආකල්ප යනාදිය ගැන කොතරම් සැළකීමක් දැක්වීමට අවස්ථාවක් තිබෙනවාද? ලැබෙන වැටුප, වෙනත් ආශ්‍රිත පහසුකම් (fringe benefits), රැකියා ස්ථාවරත්වය (job security) යනාදිය පමණක් සළකමින් රැකියාස්ථානයක් සොයාගැනීමට ලංකාවේ තරුණ තරුණියන් පෙළබෙන්නේ නැතිද? ඒ   බටහිර මිලනියල් පරපුරට නොමැති සමාජ-ආර්ථික පීඩනය නිසා නොවේද?

හොඳ රස්සාවක් හොයාගෙන ආර්ථිකව ස්ථාවර වීම, වාහනයක් ගැනීම, විවාහවීම, ගෙයක් හදාගැනීම ආදී තම දෙමව්පියන්ගේ හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ (ආච්චිලා සීයලාගේ) - එනම් X පරම්පරාව (Generation X) හා බේබි බූමර් (Baby Boomer) පරම්පරාවේ ආකල්පම අද නූතන ලාංකික මිලෙනියල් පරම්පරාවද ඉදිරියට රැගෙන යන බව පෙනෙන්නට තිබෙනවා නේද?

ඒ අනුව ස්මාර්ට්ෆෝන් එකකින් විල්පත්තුව බේරාගැනීමේ පෝස්ටු ෂෙයාකරන, පරිසර සුරැකීමේ ව්‍යාපාරයක ෆේස්බුක් පිටුවක ඇඩ්මින් කම දරන ලාංකික මිළෙනියල් තරුණයා වන විනාශයන්වල පෙරමුණේ සිටින ධනවතෙකුගේ හෝටලයක හෝ ෆැක්ටරියක හොඳ පඩියකට රැකියාවක් තෝරා ගන්නට පෙළඹෙනවා.

ඔවුන්ට ඇති පීඩනය, අප වැනි X පරම්පරාවේ සාමාජිකයින්ට එකල තිබූ සමාජ, ආර්ථික, සංස්කෘතික පීඩනයම නොවේද? උදාහරණයක් ලෙස මා සමග ආනන්දයේ එක පංතියේ සිටි, එකල දැඩි බටහිර විරෝධියෙකුවූ සොයුරෙකු දැන් බටහිර අග-නගරයක පදිංචිවී සුවෙන් සිටිනවා. උදෑසන රැස්වීමේදි ඇස් මහින්ද හාමුදුරුවන් ගැන, දේශීය සංස්කෘතිය ගැන මයික් දෙදරවමින් කතා පැවැත්වූ මාගේ දේශමාමක ජෙනරේෂන් X පාසැල් මිතුරන් දැන් දරුවන් හදන්නේ ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ නැතිනම් නවසීලන්තයේ. ඒ උදාහරණ දැන් මිලෙනියල් විල්පත්තු ඇඩ්මින්ලා කැලෑ කපා හදන, වැව් තාවුල්ලේ හදන හෝටල්වල මැනේජර්ලා, සුපර්වයිසර්ලා ලෙස රැකියා ලබාගන්නවා වගේම නොවේද?

මේ කිසිවක් ඔවුන්ගේ වරදවල්, හෝ පාසැලින් පිටවීමෙන් පසු ඔවුන්ගේ දේශීයත්වය ගිලිහියාමක් නොව සමාජ-ආර්ථික පීඩනයන් නිසා ඔවුන් විසින් සිදුකරනු ලැබූ ජීවන-තෝරාගැනීම් (life decisions) පමණක්ම ලෙසයි මා දකින්නේ. අප වැනි ජෙනරේෂන් X වරුන්ට තිබූ පීඩනයමයි අද ලාංකික ජෙනරේෂන් ‍Y තරුණ කැළටත් තිබෙන්නේ. ඇමරිකාවේ, යුරෝපයේ හෝ ඔස්ට්‍රේලියාවේ තත්වය කුමක් වුවත් ලංකාවේ යතාර්ථය තවමත් වෙනස්වී නෑ.

ඇමරිකන් මිලෙනියල් කොල්ලන් කෙල්ලන් AirBnB අපාර්ට්මන්ට් වල ජීවත්වෙමින් ඌබර් ඇප් එකෙන් ගෙන්නා ගත් රයිඩ් ශෙයාරින් කාර් එකෙන් පාර්ට් ටයිම් ජොබ්වලට ගියත් ලංකාවේ මිලෙනියල් කොල්ලන් කෙල්ලන් තවමත් හොඳට ගෙවන ෆුල් ටයිම් රස්සාවක් හොයාගන්න, තමන්ගෙම ගෙයක් හදාගන්න, කාර් එකක්, බයික් එකක් ගන්න හීන දකිනවා. ඇමරිකාවේ මිලෙනියල්ලා ඇපල් මැක් බුක් එකෙන් නෙට්ෆිලික්ස් බැලුවට ලංකාවේ මිලෙනියල්ලා තවමත් රස්සාවක් කරලා ගන්න පඩියෙන් අම්මට ටෙලි නාට්‍ය බලන්න LED TV එකක් ගෙදරට ගෙනියන්න ආසාවෙන් ඉන්න අය.

ඒවගේම තමයි ආගම දහම. බටහිර මිලෙනියල් පරපුර විද්‍යාත්මක චින්තනයෙන් හිතලා, ආගම පදනම් විරහිත සංකල්පයක් කියලා ඉන් ඈත් වුනත් පොඩි කාලේ දහම් පාසැල් ගිය අපේ මිලෙනියල් කොල්ලෝ කෙල්ලෝ තවමත් ආගමට දහමට ලැදියි. ඔවුන් පංසලෙන් පල්ලියෙන් ඈත් වෙනවානම් ඒ ස්වාමීන්වහන්සේලාගේ හා පාදිලිතුමන්ලාගේ බිස්නස් ප්‍රොජෙක්ට් ගැන තිබෙන කළකිරීම් නිසාමයි.

මේ නිසා අපේ රටේ මිලෙනියල් පරපුර රටේ ආර්ථිකයට, ව්‍යාපාරික ක්ශේෂ්ත්‍රයට වගේ ශ්‍රම බළකායට ඇතිකරන බළපෑම් සොයාබැලීමට අපේම රටේ සිදුකරන සමාජ පර්යේෂණ ඉතාම වැදගත් වෙනවා. අන්ධානුරූපව ඇමරිකන් මිලෙනියල්වරුන්ගේ පාරිභෝජන රටා පිලිබඳව කියවා ඒ අනුව ලංකාවේ සමාගම් සිය ව්‍යාපාර හා අලෙවිකරණ උපායමාර්ග සකසා ගැනීම සැබැවින්ම මුළාවක් ලෙස දැක්විය හැකියි.

Sources:

5]http://www.businessinsider.com/millennials-are-killing-list-2017-8/#oil-20
6]http://www.businessinsider.com/millennials-favorite-brands




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments