POLITICS : කැමැත්තෙන් බඩගිණ්නේ මැරෙන්න ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවාද?


සයිටම් ගැටලුවට ආණ්ඩුව දුන්න විසඳුම එපා කියලා සයිටම් එක නැත්තටම නැති කරලා, ඒකෙ ඉගෙන ගන්න S3 වහු පැටව් පාරට දිගේලි කරලා දාන්න කියලා ලංකාවේ දක්ෂම දක්ෂ ළමයින්ගේ එනම්, උසස් අධ්‍යාපනේ ලබන්න එකම උරුමක්කාරයින් වන වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් මාරාණ්තික උපවාසයකට සූදානම් වෙලා කියලා පත්තරේ තියෙනවා දැක්කා.

මේ දෙමාපියන් උපවාසෙට සැරසෙන්නේ තානාපති කාර්යාලවලට කියලා, එක්සත් ජාතීන්ටත් කියලා, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවලු. ඒ කියන්නේ ස්ව කැමැත්තෙන් බඩගිණ්නේ ඉඳලා මැරෙන්ට ඉස්සෙල්ලා ජාත්‍යන්තරේට කියනවා මදිවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවම මැරෙන්නයි මෙයාලගෙ සැලසුම.

හිතෙන හිතෙන විධියට දොස්තරලා වෙන්න බැරි බව ඇත්ත. 

ලෝකෙ හැම රටකම (ඒ කිව්වේ බනානා රිපබ්ලික් නොවන හැම රටකම) වෛද්‍ය අධ්‍යාපනය දැඩි ප්‍රමිතීන් මත සුදුස්සන්ට පමණක් ලබාදෙන අතර, ඒ සඳහා බුද්ධිමය කුසලතාවයන් තියෙන දක්ෂ දරුවන් තෝරා ගන්න ක්‍රම වේද තියෙනවා. 

උපන්දා ඉඳම්ම දොස්තර කෙනෙක් වෙන්න ඕනෑ, දොස්තර කෙනෙක් වෙයන්, ලංකාවේ බැරිනම් බංගලිදේසේ ගිහිල්ලා හරි දොස්තර කෙනෙක් වෙයන් කියන මේනියාව තියෙන්නේ ලංකාව වගේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන්ද පසුගාමී රටවල්වල විතරයි. 

වෙන රටවල්වල ජාතික ප්‍රතිපත්ති අනුව පිටරට MBBS අරගෙන ආවත් ජාතික සෞඛ්‍ය සේවයට හෝ පෞද්ගලික වෛද්‍යවරයෙක් විධියට සේවය කරන්න අවසර ගන්න බොහෝම අමාරුයි. එහෙම කරන්නේ හේතුවක් ඇතුව. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කෙලින්ම කරන ගණුදෙනුවක් නිසා වෛද්‍ය අධ්‍යාපනය හා වෛද්‍ය සේවය දැඩි ලෙස පාලනය වනවා.

ඒ අනුව ගත්තම සයිටම් පිලිබඳව තියෙන විරෝධය, සයිටම් පිහිටවපු ආකාරය පිලිබඳව තියෙන විරෝධය, සයිටම් එකේ ප්‍රමිතීන් ගැන තියන විරෝධය කියන විරෝධතා සාධාරණයි වගේම ජාතික වශයෙන් වැදගත් වෙනවා.

හැබැයි ඒ කියන්නේ මේ බ්ලොගය ලියන අප, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩළය ලෙස හඳුන්වාගන්නා වැඩවසම් යුගයේ ජීවත්වන පරපීඩක නඩයේ ඇක්ෂන් ජැක්සන්ලා,  එහෙමත් නැතිනම් අන්තරේ වලිගයක් වන වෛද්‍ය සිසු සංගමේ නායකයෝ කියාගෙන විභාග ෆෙල්වෙවී පොලිටික්ස් කරන ජෝක් ජැක්සන්ලාගේ නාඩගම් වලට පක්ෂයි කියන එක නෙමෙයි. මොවුන්ව නටවන අයගේ ලමයි බොහෝම ලස්සනට වෙලාවට ෆීස් එහෙම ගෙවලා ඔස්ට්‍රේලියාවේ  ඉගෙන ගන්නවා කියලා රටම දන්නවා. 

ඔස්ට්‍රේලියන් සිටිසන්ලාගේ ඕඩර්ස්වලට නටන ඔය යක්කු කවදාක්වත් මේ රටේ අධ්‍යාපනයට වැඩක් වෙන දෙයක් කරන්නේ නැති බව අපි දන්නවා. ඔය අමනයින්ගේ වැඩ නිසා රජයේ විශ්වවිද්‍යාලවල සමහර පාඨමාලා පුරවගන්න ළමයි නෑ. ළමයි ඉල්ලුම් කරන්නේ නෑ. 

සයිටම් අර්බුධයේ වරද කාගේද?

සයිටම් ව්‍යවසායකයින් පලමුව වගකිව යුතුයි

ඉස්සෙල්ලාම වරද්ද ගත්තේ සයිටම් පටන් ගත්ත මිනිස්සුමයි. රාජපක්ෂලා කවදාක්වත් පරදින්නේ නෑ කියලා හිතාගෙන, නිවැරදි ක්‍රමවේදවලින් තොරව, හොර පාරෙන් ගැසට් නිවේදන නිකුත්කරගෙන, වෛද්‍ය සභාව පයිසෙකට මායිම් නොකර, ඕනෑම අවසරයක් හොර පාරෙන්, බලෙන් නැතිනම් සල්ලිදීලා ගන්න පුලුවන් කියලා හිතාගෙන පටන් ගත්ත නිසා සිය ගණනක් දරුවන්ගේ සිහිනත්, දෙමව්පියන්ගේ මිලියන ගණන් මුදලුත් නාස්තිවෙලා. ඒවාට වන්දිගෙවන්න කවුරුත් නෑ.

දෙවනුව කාලෝ ෆොන්සේකාට ඕනෑ විධියට පාලනය වුනු වෛද්‍ය සභාව.

සයිටම් පටන් අරගෙන, ගැසට් පත්‍රිකා නිකුත් කරවාගෙන, මිනී කපන්නට පවා හොර පාරෙන් අවසර අරගෙන තිබුණේ කාලෝ ෆොන්සේකාගේ නායකත්වයෙන් වෛද්‍ය සභාව පාලනය වුනු රාජපක්ෂ යුගයේදීමයි. 

ඒකාලේ රාජපක්ෂගේ සුවච කීකරු ගෝලයෙක් විධියට සද්ද නැතුව ඉඳිමින්, හොරෙන් "හිස් එකසලන්සි - ද සයිටම් ප්‍රොබ්ලම්" කිය කියා රහස් ලියුම් ලිව්වා මිසක් කෙලින් කිසිම විරුද්ධත්වයක් ගෙන ආවේ නැත්තේ වෛද්‍ය සභාවත්, එහි හිටපු නායක කාලෝ ෆොන්සේකාත් මිසක් වෙන කවුරුවත් නෙමෙයි.

අපි දන්නේ නෑ, අපිට කිව්වේ නෑ, අපිට මතක නෑ වගේ කතා කියන්නට වෛද්‍ය සභාවට පුලුවන් කමක් නෑ. ඒ නිසා සයිටම් කුණු කන්දට දේශපාලන අරමුණු උදෙසා, විවෘතව විරුද්ධ නොවීමේ ක්‍රියාවලිය මත නිහඬ අනුමැතිය දුන් කාලෝගේ වෛද්‍ය සභාව වගකිව යුතුමයි.

කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ වෛද්‍ය වෘත්තියේ නියාමන අයිතිය දේශපාලන අරමුණු සඳහා මෙහෙයවූ බව තහවුරු වන්නේ ආණ්ඩු මාරුවෙන් පසුව  නැට්ටට කිරි ඉණුවා සේ කෑකෝ ගසන්නටත්, හදිසියේම සිය නියාමන වගකීම අකුරක් නෑර ක්‍රියාත්මක කරන්නටත් පෙළඹුනු බැවිනි.

මේ නොමග යැවීම් නිසා අමාරුවේ වැටුනේ සයිටම් දරුවෝ නේද?

සයිටම් පටන්ගන්න කොටම වෛද්‍ය සභාව එහි ප්‍රමිතීන් පිලිබඳව දැඩි ලෙස හොයලා බලලා, එය පිලිගත නොහැකිබව දැඩි ලෙසම ප්‍රකාශ කලානම්, ආණ්ඩු මාරුවෙන් පස්සේ මතක්වුනු නියාමන වගකීම කලින්ම ක්‍රියාත්මක කලානම් දෙමව්පියන් මිලියන ගණන් වියදම් කරලා සයිටම් එකට ළමයි දාන්නේ නෑනේද?

ඒ ජාතික වගකීමෙන් වෛද්‍ය සභාවට පැන යන්නට පුලුවන්ද?

ජාතික නියාමන ආයතනයක් වන වෛද්‍ය සභාව දේශපාලන අරමුණු මත මෙහෙයවපු කාලෝ දැන්  නෑ. විශ්‍රාම සුව විඳිනවා. දරුවන්ගේ අනාගතය වගේම ඔවුන් වියදම් කරපු ලක්ෂගණන් වතුරේ ගසාගෙන යනවා.

තෙවනුව වෛද්‍ය සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් නොමග යැවූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

සයිටම් කියන සුවිශේෂී අර්බුධය, පොදුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට නැතිනම් පෞද්ගලික උසස් අධ්‍යාපනයට විරුද්ධ සටනක් බවට පත්කල අදූරදර්ශී   වෛද්‍ය සංගමයත් මෙයට දැඩි ලෙස වගකිව යුතුයි.

තමුන්ගේ විරෝධය සයිටම් නම් ප්‍රමිතීන් නොමැති වෛද්‍ය විද්‍යාලයට පමණයි, වෙන කිසිවකට නොවෙයි යනුවෙන් තමුන්ගේ විරෝධය හා සටන සීමා කරන්නට, නිසිලෙස කළමණාකරගන්නට නොදත් මෝඩ, උද්ධඡ්ච නොහැකියාව නිසා මේ ගැටලුව අද ජාතික වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය සිසුන් ගේ දෙමව්පියන් මාරාන්තික උපවාසවලට යොමු කරන්න තරම් ඔඩු දුවලා.

තමන්ගැන ඇති මෝඩ අධි-තක්සේරුව නිසා වර්ජනය අසාර්ථකයි කිව්වොත් හදිසි සේවාත් නවත්වනවා යයි කටමැත දොඩා, ජනතා වෛරයට පාත්‍රවී, වෛද්‍ය වෘත්තිකයින්ට තිබූ බලවත් කේවල් කිරීමේ හැකියාව නැති කරගත්තේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වර්තමාන මුල් පුටුකාරයින්ය. තම සංගමයේ කේවල් කිරීමේ හැකියාවන් නිෂේධකර ගත් ඔවුන් තවමත් ඒ පුටුවලමය.

රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රැකගැනීමේ උදාර පරමාර්ථය, පෞද්ගලික දේශපාලන උවමනාවක්වූ,  සයිටම් එකේ සුළු පියාවූ රාජපක්ෂ ඉක්මණින්ම යලි බලයට ගෙන ඒමේ හා ආණ්ඩු පෙරලීමේ පහත් අරමුණ කරා ව්‍යාප්තකරගෙන විහිළුකාරයන්වී සිටින්නේ මොවුන්ය.

මොවුන්ට දැන් කෙලින්ම වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්නට හැකියාවක් නැත. ගියත් දවසකට දෙකකටය. ඊට වඩා එහා යන වර්ජන ගෙදර ඉන්නට, පාරේ යන්නට බැරිවෙන වර්ජන බව ජනතාව ඔවුන්ට පෙන්වා ඇත.

දැන් ඔවුන්ට කල හැකි එකම දෙය සිසු සංගම් හරහා වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නට හැර බලා සිටීමත්, දෙමව්පිය සංගම් නිවට මාරාන්තික උපවාස කරා යොමු කිරීමත් පමණකි.

තෙවනුව වෛද්‍ය සිසු දෙමව්පිය සංගමය

දෙමව්පියන් යනු දරුවන් යහමග යවන පලමු බල වේගයයි. දරුවන්ගේ පලමු ගුරුවරුන්ය, ආරක්ෂකයින්ය. හරිවැරැද්ද කියා දෙන්නන්ය. එවැනි වගකීමක් ඇති දෙමව්පියන් සිය දරුවන් අඛණ්ඩ පංති වර්ජන වලට පෙළඹවීම මොනතරම් සදාචාර සම්පන්නද?

මේ මාරාන්තික උපවාස කරන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගන්නා තම දරුවන්ට උපාධියෙන් පසු රජයේ වෛද්‍ය සේවයේ රැකියාවක් නොදෙන බවට රජයක් ප්‍රකාශ කල නිසානම්, එය සාධාරණය.

අතිශය අපහසු උසස්පෙල කඩඉම් වලින් සමත්ව, වසර 5ක් දුක්විඳ වෛද්‍යවරයෙකු වන්නට සුදුසුකම් ලබන තම දරුවන්ට රජයේ වෛද්‍ය සේවයට ඇතුලුවන්නට අවස්ථාව නොදෙන්නේ නම්, දෙමව්පියන් වශයෙන් මරාගෙන මැරෙන්නට වුව සිතෙන එක සාධාරණය.

එහෙත් මේ මැරෙන්නට යන්නේ තවත් දරුවන් පිරිසක් පන්නා දැමීමටය. මේ දෙමව්පියන්ට අනුව අර දරුවන් අවජාතක විය යුතුය. ඒ දරුවන් මහ පාරට ඇද දැමිය යුතුය. විකල්පයක් නැත.

මෙවැනි ආකල්ප ඇති දෙමව්පියන්ගේ දරුවන් වෙද නලාව අතට ගෙන ජීවිත සමග සෙල්ලම් කරන්නට බලය ලබාගත් විට හැසිරෙන හැටි වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඕනෑවටත් වඩා පෙන්වා ඇත.

එතකොට විද්‍යා ගවේෂණ කියන ආකාරයට රජයට මෙහි වගකීමක් නැද්ද?

රජයට වගකීමක් ඇත. එය වන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය හා වෛද්‍ය අධ්‍යාපනය ආරක්ෂා කරමින් මුළු රටේම ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමයි. 

මොන රජය වුවත් පත්වන්නේ වෘත්තීය සමිතිකාරයින් කියන විධියට නටන්න නොවේ. මේ රට අයිති වෛද්‍ය සිසුන්ට, රජයේ වෛද්‍ය නිළධාරීන්ට, රජයේ විශ්වවිද්‍යාල සිසුන්ට හා අන්තරේ පිස්සු නඩයට පමණක් නොවේ. 

මේ රට මිලියන විස්සක් මිනිස්සුන් සියල්ලන්ටම අයිතිය. ඒ මිනිස්සුන්ට තමන් කැමති ලෙසකට දරුවන්ට උගන්වන්නට, සිහින සැබෑකරගන්නට, දියුණු වන්නට අයිතියක් ඇත.

සයිටම් දරුවන්ද එසේමය. සයිටම් දරුවන් යනු මේ රටට හොරෙන් ආ රොහින්යා සරණාගතයින්ගේ දරුවන් නොව, මේ රටේ ඉපිද, මේ රටේ පාසැල් වලට ගිය දරුවන් වන අතර ඔවුන්ගේ දෙමව්පියන් සෘජු හා වක්‍ර බදු ගෙවන රටේ පුරවැසියන්ය. ඔවුන්ට සාධාරණය ඉටුවිය යුතුය.

එය රජයේ වගකීමය.

සයිටම් අහෝසි කිරීමෙන් සියල්ලන් සතුටින් විසිර යනු ඇතැයි යන මුලාවකි. ඒ ව්‍යාපෘතියේ ගෞරවය හයිජැක් කරගන්නා අන්තරේ හා වෙනත් කට්ටඩි නඩ ලබ්බ අහෝසිකර ගැනීමෙන් පසු අතගහන්නේ පුහුල් ගෙඩි වලටය. 

දහස් ගණන් දරුවන්ගේත් ඔවුන්ගේ දෙමව්පියන්ගේත් සිහින සැබෑ කරන SLIIT, NSBM වැනි උසස් අධ්‍යාපන ආයතන විනාශ කිරීමේ සටන ඔවුන් නොපමාව අරඹනු ඇත. ඒ සඳහා රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය කඩාකප්පල් කරවමින්, විශ්වවිද්‍යාලවල සිසුන් යලිත් බලෙන් පාරට දක්කමින්, කෙසේ හෝ බිල්ලක් දෙකක් ගන්නට ඔවුන් සැරසෙනු ඇත. 

පාරවල් අහුරමින්, රටේම මිනිස්සුන්ගේ එදිනෙදා වැඩකටයුතු අවුල් කරමින්, මහජන දේපොල, කාළය, ඉන්ධන හා මුදල් කාදමමින්, රටේ නිෂ්පාදනයට දායකවිය හැකි මිනිස් පැය ලක්ෂ ගණන් කාළකණ්නි විරෝධතා නිසා මහපාරේ වැයකරවනු ඇත.

අපේ/අපේ දරුවන්ගේ අයිතින් වෙනුවෙන් යයි බොරු කියමින්, අපේ එදිනෙදා වැඩකටයුතු කරගැනීමේ, රස්සාවට යාමේ අයිතියද නැති කරමින්, පාරවල් වල රස්තියාදු කරවමින්, අපේ දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය අහෝසි කිරීමට ක්‍රියාකරනු ඇත.

පොලිසීය හා ආරක්ෂක හමුදා සමග කෙසේ හෝ ගැටුම් නිර්මාණය කරගනු ඇත. කොල්ලන් කෙල්ලන් ගුටි කනවිට, කඳුළු ගෑස් කනවිට, වෙඩි කනවිට හෙමින් පසුබැස ගොස් සැඟවී, ගුටි නොකා-වෙඩි නොකා බේරී පසුව ශර්ට් ඉරාගෙන, රතුපාට කුකුල් සායම් හලාගෙන කැමරාවලට පෙනී සිටිනු ඇත. 

මොවුන් මේ සියල්ල කරන්නේ රටට ආදරේට හෝ නිදහස් අධ්‍යාපනය රැකීමට නොව තමන්ගේ දේශපාලන නායකයින්ගේ අනාගතය වෙනුවෙන්ම පමණකි. මාළුවාට ජලය නොමැතිව පැවැත්මක් නැතුවා සේ මොවුන්ට යමක් විනාශකිරීමෙන් තොරව පැවැත්මක් නැත.

එය නියතයකි. 

එයට ඉඩදීම සිහිබුද්ධියක් ඇති ආණ්ඩුවකට කල නොහැකිය.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments