SPACE FLIGHT : ලයිකා අහසට ගිහින් අවුරුදු 60යි!

1954 නොවැම්බර් 3වැනිදා ගුවන්ගත කල ස්පුට්නික් 2 අභ්‍යවකාශ යානයේ පෘථිවියෙන් ඉවත්ව අභ්‍යවකාශයට ගමන්කල ප්‍රථම ජීවියා සිටියා. ඒ මොස්කව් නගරයේ ඉබාගාතේ යමින් සිටියදී හමුවූ ලයිකා නම් බැල්ලයි. ලයිකා යනු "බුරන්නිය" යන්නයි. ටෙරියර් හා හස්කි යන සුනඛ වර්ග දෙකෙහි මුහුවෙන් ඉපැදුනු ලයිකා ශක්තිමත්, නිර්භය එමෙන්ම ඉතා කීකරු බැල්ලක් වීම ඇය මේ ඓතිහාසික ගමනට තෝරා ගැනීමට හේතුවූ බව පැවසෙනවා.

1957 ඔක්තෝම්බර් 4වැනිදා ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන්ගත කොට සිය තාක්ෂණික හැකියාවන් වලින් ලොව විස්මයටත් තමන් ලෝකෙට ලොක්කා ලෙස හිතාගෙන හිටි ඇමරිකාව බලවත් ලැජ්ජාවටත් පත්කල සෝවියට් දේශය ස්පුට්නික් 2 අභ්‍යවකාශයට යැවීමෙන් තමන් අභ්‍යවකාශ තාක්ෂණයේ සුපිරිම ජාතිය බව ලොවට ඔප්පුකලා.


පෘථිවිය වටා අභ්‍යවකාශයේ තොරතුරු හා එමගින් ජීවීන්ට ඇතිවිය හැකි බලපෑම්, ජීවීන්ට අභ්‍යවකාශයේ ජීවත්විය හැකිද යන්න ආදී පැනවලට පිලිතුරු රැසක් ලයිකාගේ ගමනින් ලැබුණු දත්ත වලින් සොයා ගත්තා.

පැය 7ක් පමණ අභ්‍යවකාශයේ ගතකරමින් වටිනා දත්ත රැසක් ලබාදුන් ලයිකා මියගියා. ඇයගේ මියයාමේ සත්‍ය තොරතුරු සඟවාගත් සෝවියට් දේශය ඇය රැගත් අභ්‍යවකාශ යානයේ ඔක්සිජන් අවසන්වීමෙන් පසු ඇය මියගිය බව පැවසූවා. එමෙන්ම ඔක්සිජන් අවසන්වීමට පෙර ඇය බලවත් නිර්වින්දනයක් ශරීරගත කොට වේදනා රහිත මරණයකට පත්කල බවටද කතාවක් පැතිරුණා. 

ලයිකා මියගිය සත්‍ය ආකාරය හෙලිවුනේ 2002 තරම් මෑතකදී. ලයිකා මිය යාමට හේතුව ඇය ගමන්ගත් ස්පුටිනික් 2 කැප්සූලය දැඩි ලෙස රත්වීමෙන් ඇතිවූ ආතතිය බව දැන් හෙලිවී තිබෙනවා. කැප්සූලය හා රොකට්ටුවේ කොටසක් නිසි පරිදි වෙන් නොවීම නිසා කැප්සූලයේ උෂ්ණත්ව පාළන පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ඇය මිය යාමට හේතුව බව  තහවුරු වෙලා තියෙනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments