ALIENS & EXTRA TERRESTRIALS : නාසා ආයතනය සුපිරි ශ්‍රී ලාංකික විද්‍යාඥ සිරිල් පොන්නම්පෙරුමගේ අපූරු සොයාගැනීම සමරයි!!!


සන්නිවේදන චන්ද්‍රිකාවේ නිර්මාතෲ ආතර් සී ක්ලාක් මහතා වරක් පැවසූ අන්දමට " ලක් පොලොවේ උපන් විදුදරයින් අතරින් වැඩිම විශ්වකීර්තියක් දිනාගත් තැනැත්තා මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාය..."

අද එතුමා ගැන මේ සටහන තබන්නට සිත්වූයේ උදෑසන සිරිත් පරිදි මාගේ ට්විටර් ගිණුම විවෘතකොට ලැබී ඇති ට්විටර් පණිවුඩ කියවීමේදී නාසා ආයතනයේ නිළ ඉතිහාස ලේඛණාගාරය වන "NASA History Office‏ (@NASAhistory)"  කාර්යාලයෙන් නිකුත් කර තිබූ පහත ට්විටර් පණිවුඩය කියැවීමෙන් පසුවයි.
"1970 වසරේ අදවැනි දිනක නාසා ආයතනයේ ඇම්ස් පර්යේෂණ පීඨයේ විද්‍යාඥ ආචාර්ය සිරිල් ඒ පොන්නම්පෙරුම ඔස්ට්‍රේලියාවේ මාර්චීසන් ප්‍රදේශයෙන් හමුවූ උල්කාපාතයක තිබී පිටසක්වලින් පැමිණියා යයි තහවුරුවූ ඇමයිනෝ අම්ල සොයාගත්තා."

සිරිල් පොන්නම්පෙරුම මහ ඇදුරුතුමාගේ, මහා විදුදරයාගේ ජීවිත ගමනේ කෙටිසටහනක්.

1. 1923දී ගාල්ලේ ඉපැදුනු පොන්නම්පෙරුම මහතා මුලින් ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයටත්, පසුව ශාන්ත ජෝෂප් විද්‍යාලයටත් ඇතුලත්ව සිප්සතර හැදෑරූවා.

2. 1948දී ඉන්දියාවේ මදුරාසි විශ්විද්‍යාලයෙන් දර්ශන විද්‍යාව පිලිබඳව උපාධියක් දිනාගත්තා.

3. පසුව බ්‍රිතාන්‍යයට ගිය පොන්නම්පෙරුම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බර්බෙක් පීඨයට බැඳී රසායණවිද්‍යාව පිලිබඳව උපාධියක් දිනාගත්තේ 1959දී. ඔහුතුල ජීවයේ උපත (origin of life) පිලිබඳව උනන්දුවක් හටගත්තේ බර්බෙක් පීඨයේ පර්යේෂකයෙකුව සිටි මහාචාර්ය ජේ.ඩී බර්නාල් මහතා ඇසුරේ පර්යේෂණ කරන්නට අවස්ථාව ලැබීමෙනුයි. ඉන්පසු ජීවයේ උපත පිලිබඳව පර්යේෂණ කරන්නට ඔහු සිය වෘත්තීය ජීවිතයම කැපකලා.

4. එක්සත් ජනපදය බලා ගිය සිරිල් පොන්නම්පෙරුම කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බර්කෙලි මණ්ඩපයෙන් ආචාර්ය උපාධිය දිනාගත්තේ 1962දීයි. ඔහුගේ ආචාර්ය උපාධි අධීක්ෂක (PhD supervisor) වූයේ සුප්‍රකට ජීවරසායණ විද්‍යාඥයෙකු හා නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මෙල්වින් කැල්වින්.

5. එම වසරේදීම ඔහුගේ පර්යේෂණ පිලිබඳව පැහැදුනු ඇමරිකාවේ ජාතික විද්‍යා ඇකඩමිය ඔහුව නාසා ආයතනයේ ඇම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂක තනතුරකට පත්වීමට අනුග්‍රහය ලබාදුන්නා.

6. 1963දී ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම නාසා ආයතනයේ පිටසක්වල ජීවය පිලිබඳව පර්යේෂණ පවත්වන NASA's Exobiology Division පර්යේෂණාගාරයට පත්කෙරුනා.

7. මේවන විට සඳ ගවේෂණය සඳහා ඇමරිකාව සූදානම් වෙමින් සිටි අතර ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාව ඇපලෝ ව්‍යාපෘතියෙන් ආපසු ගෙන එන චන්ද්‍ර පාෂාණ විශ්ලේෂණය කිරීමේ කණ්ඩායමේ ප්‍රධානියා බවට පත් කෙරුනේ මුලු මහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් වෙමින්. "පස් පාටියේ ලොක්කා අපේ එකෙක්" යනුවෙන් සිරස්තල පලකරමින් එකල පුවත්පත් අපේ සිරිල් පොන්නම්පෙරුම ලැබූ ගෞරවය සැමරුවා.

8. නාසා ආයතනය අඟහරු වෙත යැවූ පලමු රොබෝ යානා දෙක වූ වයිකිං 1 හා වයිකිං 2 යානාවල තිබූ ස්වයංක්‍රීයව අඟහරු පස් පරීක්ෂාකොට ජීවය පිලිබඳ සළකුණු සෙවීමේ පර්යේෂණාගාරය නිමාණය කිරීමටද මහාචාර්ය පොන්නම්පෙරුම දැඩි දායකත්වයක් ලබා දුන්නා.

9. ලොව පුරා පර්යේෂණ කටයුතුවලට සහභාගීවෙම්න් කීර්තියට හා සම්මානයට පාත්‍රවූ සිරිල් පොන්නම්පෙරුම මහතා 1984දී එකල ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ජනාධිපති විද්‍යා උපදේශක ලෙස පත්කරනු ලැබුවා.







__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments