ARE U SERIOUS? : ලොව පැරණිම හා විශිෂ්ඨම S.A.S විශේෂ බළකාය Combat Missions වලට කෙල්ලන් ගන්න යයි!

SAS ට්‍රේනින් ගිය කෙල්ලෝ
නූතන විශේෂ බළකා ඉතිහාසය ආරම්භ වෙන්නේ දෙවන ලෝක යුද්දෙ කාලෙ බ්‍රිතාන්‍යයෙන්. එකල බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන්ට් චර්චිල්, සතුරු බිම් පෙදෙස් වලට රහසින් ඇතුලුවී දැඩි විනාශයන් සිදුකල හැකි විශේෂ සෙබලුන් කණ්ඩායමක් නිර්මාණය කරන්න කියලා බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට දීපු නියෝගයක් බ්‍රිතාන්‍ය කොමාන්ඩෝ ඒකක පිහිටුවීමට මුල්වුනා කියලා කියනවා. මේ අනුව ලෝකයේ පලමුවෙනි විශේෂ බළකාය වන Special Air Service (SAS) රෙජිමේන්තුව 1941දී ආරම්භ වෙනවා.

SAS කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ පලමුවෙනි මෙහෙයුම සිදුවන්නේ 1941 නොවැම්බරයේදී. ඒ නට්සීන්ට විරුද්ධව උතුරු අප්‍රිකාවේදී ආරම්භ කරපු Operation Crusader ක්‍රියාන්විතයට සහය මෙහෙයුමක් විධියට. මේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා මෙහෙයුමට සහභාගීවුනු 60 දෙනාගෙන් 22නෙක්ම මිය යනවා. හැබැයි 1942 සැප්තැම්බරයේදී ලිබියාවේ ජර්මන් ගුවන් කඳවරු වලට අනපේක්ෂිත අවස්ථාවක එල්ලකල SAS දෙවන ප්‍රහාරය ඉතාමත් සාර්ථක වුනා. මෙහිදී ජර්මන් ගුවන්හමුදාවේ ප්‍රහාරක යානා 60ක් විනාශකරන්න ඔවුන් සමත්වුනා.

නිළ වශයෙන් 22nd Special Air Service Regiment ලෙසින් හඳුන්වන SAS රෙජිමේන්තු ස්වක්ඩ්‍රන් (භට සමූහ) 4කට බෙදා ඇති අතර සෑම ස්වක්ඩ්‍රනයක්ම මේජර්වරයෙකු යටතේ ක්‍රියාත්මකවේ. එක් ස්වක්ඩ්‍රනයක කපිතාන්වරුන් 4 දෙනෙකු සිටින අතර එක් කපිතාන්වරයෙකු යටතේ භටයින් 15 දෙනෙකුගේ කණ්ඩායමක් ක්‍රියාත්මකවේ.  





 
SAS සෙබලුන්ට මූලික කොමාන්ඩෝ පුහුණුවට අමතරව අංශ 4කින් එක් අංශයක විශේෂ පුහුණුවක් ලබාදෙනවා.

1]  Boat Troop - මොවුන් ජලාශ්‍රිත හා කිමිදුම් මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුවක් ලබන අතර.  සෙබලුන් බොහෝවිට බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ Special Boat Service (SBS) නාවික කොමාන්ඩෝ ඒකකය සමග පුහුණුවීම් වල යෙදෙනවා.

2] Air Troop - ඉතා ඉහලින් යන ගුවන්යානාවලින් (high altitude) පැරිෂූට් පැනීම් වලට විශේෂයෙන් පුහුණුවන මොවුන් High Altitude Low Opening (HALO) හා High Altitude High Opening (HAHO) ආකාරයේ පැරිෂූට් පැනීම් වලට දක්ෂයින් වනවා.

3] Mobility Troop – කාන්තාර හා දිගුදුර වාහන මෙහෙයුම් වලට විශේෂඥයින් වන මොවුන් අතර ඉතාමත් ඉහල පුහුණුවක් ලැබූ මෝටර් කාර්මිකයින්ද සිටිනවා. ඕනෑම ආකාරයට වාහන ආපදාවකදී අලුත්වැඩියා සිදුකිරීමට මොවුන් දක්ෂයින් වනවා.

4] Mountain Troop -  - අධික ශීතලෙන් යුතු ධ්‍රැවාශ්‍රිත ප්‍රදේශවල මෙහෙයුම් හා දුෂ්කර කඳුකර ප්‍රදේශවල මෙහෙයුම් කිරීමට විශේෂ පුහුණුවක් ඇති මොවුන් කඳුනැගීමට හා හිම මත මෙහෙයුම් කිරීමට දක්ෂයින් බව පැවසෙනවා.
 





මෙවැනි දුෂ්කර මෙහෙයුම් වලට පුහුණු කරවන SAS බළකාය සඳහා තරුණියන් බඳවා ගැනීම සඳහා මේ දිනවල මූලික ශාරීරික ‍යෝග්‍යතා පුහුණුවීම් (physical fitness training) සිදුකරමින් සිටින බවයි බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන්නේ.



මේ තීරණයට සමහර SAS නිළධාරීන් විරුද්ධ බවයි පැවසෙන්නේ. කාන්තාවන් සහභාගීවන මෙහෙයුම් ඒ නිසාම අසාර්ථක වියහැකි බව ඔවුන් පවසනවා.

එහෙත් SAS නිළධාරීන් හා ජ්‍යේෂ්ඨයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් මේ තීරණයට සහය පලකරනවා.  බ්‍රිතාන්‍ය MI6 ඔත්තුසේවයේ කාන්තා ඔත්තුකාරියන් සමග දුෂ්කර මෙහෙයුම් වල යෙදී ඇති SAS නිළධාරීන්, කාන්තාවන්ට පිරිමින්ට කල හැකි ඕනෑම දුෂ්කර මෙහෙයුමක් සිදුකිරීමට හැකියාව ඇතැයි ප්‍රසිද්ධියේ පවසන්නේ ඔවුන්ට ලැබී ඇති අත්දැකීම් අනුවයි. සමහර අවස්ථාවලදී කාන්තාවන් සමග මෙහෙයුම් කිරීම පිරිමින් සමග මෙහෙයුම් කරනවාට වඩා පහසුයි කියලත් කාන්තා ඒජන්තවරියන් සමග රහස් මෙහෙයුම් වල යෙදී පලපුරුද්ද ඇති SAS ජ්‍යේෂ්ඨයින් පවසනවා.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments