BUSINESS : Cargills Plc පාලනාධිකාරිය, කරුණාකර ඔබලාගේ KFC ජාලයේ සිදුවන්නේ කුමක්දැයි සොයා බලන්න.

ලංකාව පුරා පැතිරෙමින් තියෙන ජාත්‍යන්තර ඉක්මණ් ආහාර (fast food) අවන්හල් ජාල අතරින් නිතරම බැනුම් අහන ජාලයක් තමයි KFC. ඒකට හේතුව බොහෝවිට පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය. 2014 අවුරුද්දෙත් පණුවන් සිටින බුරියානි විකුණලා තමුන්ගේ සන්නාමයට විශාල හානියක් කරගත්ත CARGILLS KFC මේ කරගෙන තියෙන්නේත් ඒවගේම මෝඩ වැඩක්.

මේ විධියට ලියනකොට වැරදි වැටහීමක් ඇතිවෙන නිසා පැහැදිලිවම කියන්න ඕනෑ මේ ලිපියේ අරමුණ හෝ මගේ පෞද්ගලික අරමුණ වෙන්නේ කාගිල්ස් සමාගම (හෝ සන්නාමය) හෝ කේ.එෆ්.සී සන්නාමය විනාෂ කිරීම නොවන බව. කාගිල්ස් කියන්නේ වසර සීයක් විතර පරණ, දහස් ගණනකට රස්සාදෙන, දහස් ගණනක් ගොවීන්ගෙන් හා දේශීය නිෂ්පාදකයින්ගෙන් නිෂ්පාදන මිළට ගන්න සමාගමක්. ඒවැනි සමාගම් වල වැරදි පෙන්වාදෙමින් අපි ඒවා ආරක්ෂාකරගත යුතුයි. 

රටක් දියුණු වෙන්නෙත්, ඒ රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්වය ඉහල නංවන්නෙත් ඒ රටේ ආණ්ඩුව නොව ඒ රටේ ලොකු කුඩා සමාගම් කියන දෙය මම දැඩි ලෙස විශ්වාස කරනවා. ලෝකෙ මිනිස්සු ජපාන ගැන දන්නේ ජපන් ආණ්ඩුව නිසා නෙමෙයි. ටොයෝටා, නිසාන්, සෝනි කොම්පැණි නිසා. කොරියාව ගැන මිනිස්සු දන්නේ සැම්සුන්ග්, හුන්ඩායි නිසා. ඉන්දියාව ගැන දන්නේ ටාටා නිසා. ඒකයි ඇත්ත. ඒ නිසා අපේ රටේ සමාගම් අපි ආරක්ෂාකරගත යුතුයි.




මේ වීඩියෝව බැලුවම, වගේම අවුරුදු තුනකට ඉස්සෙල්ලා වෙච්ච දේ බැලුවහමත් පේන දෙයක් තමයි කාගිල්ස් මගින් පාලනය වන කේ.එෆ්.සී අවන්හල්වල විශාල ගැටලු තියෙනවා කියන එක. මොනවද මේ ගැටලු?




1] පලමුවෙනි හා ප්‍රධානම දේ - පාරිභෝජනයට නුසුදුසු කෑම අලෙවිය. මේක මොනතරම් බරපතලද ඒවගේම නීති විරෝධීද කියලා කියන්න ඕනෙද? 

කාගිල්ස් කේ.එෆ්.සී මැනේජ්මන්ට් එකෙන් අහන්න ඕනෑ "මේ ජරා කෑම කාලා, KFC කන්න ආසාවෙන් එන පුංචි දරුවෙක් මැරෙන තෙක්ද බලාගෙන ඉන්නේ" කියලා?

මේ විධියට වගකීමක් නැතුව හදන ජරා කෑම කාලා දරුවෙකුට හරි වැඩිහිටියෙකුට හරි බරපතල අණතුරක් වුනොත් එදාට ලංකාවෙ කේ.ෆ්.සී බිස්නස් එක ඉවරයි. ඒවගේම කාගිල්ස් එකටත් ගොඩ එන්නේ ලැබෙන්නේ නෑ කියන එක කරුණාකරලා තේරුම් ගන්න. ලක්ෂ ගණන් වියදම් කරලා ප්‍රවර්ධනය කරන කාගිල්ස් සන්නාමය විනාශකර ගන්න එපා.

ඇන්කර් කිරි කොම්පැණියට ලංකාවේ වුනු දේ ගැන පොඩ්ඩක් මතක් කර ගන්න. හිතන්න එපා සෙල්ලමක් කියලා. පොඩි දරුවෙක් කෑම විසවෙලා මැරුණොත් එදාට සියල්ල අවසන් කියලා තෙරුම් ගන්න. එහෙම වෙන්න ඉස්සෙල්ලා රෙස්ටොරන්ට් ජාලයේ කොලිටිය හදාගන්න.

කරුණාකරලා වහාම කේ.එෆ්.සී රෙස්ටොරන්ට් වල කෑම උයන විධිය, කල්තබා ගන්න විධිය, පිලිගන්වන විධිය ගැන පූර්ණ හා ස්වාධීන විගණනයක් කරන්න. ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩළයේ ස්වාධීන අධ්‍යක්ෂකවරයෙකු පත්කරලා ඔහුට/ඇයට අධ්‍යක්ෂක මණ්ඩලයට පරිපූර්ණ KFC Food Quality Audit වාර්තාවක් ඉදිරිපත් කරන්න සලස්සන්න. මේ විධියට මළජරාව මිනිස්සුන්ගේ කෑම පිඟානට වැටුනේ කොහොමද කියලා හරියට හොයන්න. පැලැස්තර විසඳුම් දෙන්න එපා. ඔය රෙස්ටොරන්ට් එක වහලා මැනේජර් මෝඩයාව අස්කලා කියලා ලංකාවේ කේ.එෆ්.සී කොලිටිය හැදෙන්නේ නෑ.

ලංකාවේ කේ.එෆ්.සී අවන්හල්වල බරපතල කොලිටි ප්‍රශ්ණ තියෙනවා. සමහර ඒවාවල චිකන් හරියට තැම්බිලා නෑ. කනකොට තේරෙනවා අමුයි කියලා. තව සමහර ඒවාවල උදේ බැදපු චිකන්, ආයෙ බැදලා හවසට දෙනවා. කනකොට රබර් වගේ හයියයි. 

කේ.ෆ්.සී රෙස්ටොරන්ට් මැනේජර්ලා වගේම ප්‍රඩක්ට් කොලිටිය බාර ලොක්කොත් දැන ගන්න ඕනෑ, කේ.ෆ්.සී කන්න එන්නේ චිකන් කාපු නැති මිනිස්සු නෙමෙයි කියලා.  ඒවගේම කේ.එෆ්.සී එකේ දෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තත්වෙන් අන්තිම බාලයි. 

මේවා හරියට හදාගන්න බැරිනම් කාගිල්ස් කොම්පැණිය කේ.එෆ්.සී බිස්නස් එක විකුණලා දාන්න.

2] දෙවැනි ගැටලුව - පුහුණුවක් හා විනයක් නැති කළමණාකරුවන් යෙදවීම - මේ කළමණාකාර ගැටයා හැසිරෙන්නේ අන්තිම ගොනෙක් විධියට. මෙයාව මැනේජර් කෙනෙක් විධියට සුදුසුයි කියලා පත්කරපු කෙනාගෙන් වහාම නිදහසට කාරනා විමසන්න ඕනෑ මේ වගේ නොහික්මුණු, නුපුහුණු කොල්ලෙක්ව ජාත්‍යන්තර සන්නාමයක මැනේජර් කෙනෙක් බවට පත්කලේ මොන පදනමකින්ද කියලා. 

මේ මෝඩයට තේරුම් යන්න ඕනෑ මිනිහෙකුට කන්න බැරි ජරා කෑමක් දුන්නට පස්සේ ඒ මනුස්සයාට කේන්ති යන එක සාධාරණයි කියන එක.

මෙහෙමද KFC මැනේජර්ලා හැසිරෙන්නේ?

නම ඇහුවම කියන්නේ නෑ. නරිප්පඩකමට ශර්ට් එකේ තියෙන නේම් ටැග් එක පෙන්වනවා. ගණුදෙනුකරුවෙක්, ගැටලුවක් නිසා තමන් ගණුදෙනු කරන සමාගම් සේවකයාගේ නම ඇහුවම නිවැරදිව සම්පූණ නම කියන්න ඔවුන් බැඳිලා ඉන්න බව මේ මෝඩයා දැනගන්න ඕනෑ. නැතිනම් ඒක ඔලු කට්ටට කාන්දුවෙනකම් හරියට මොවුන්ව ට්‍රේන් කරන්න ඕනෑ.

වැරද්ද පිලි ගන්නෙම නෑ. ලේ පෙරෙන බාගෙට ඉදිච්ච ජරාව දිහා බල බල ඕනෙ නම් රිෆන්ඩ් එකක් දෙන්නම් කියන්නේ මොහුගේ උපන් ගොන් කමට වෙන්න ඇති.

වැරැද්දක් ඇත්තටම වෙලානම්, නැතත් අහේතුකව හරි ගණුදෙනුකාරයෙකුට කේන්ති ගියාම හරි වැරැද්ද කාගේ වුනත් සේවකයා ගණුදෙනුකාරයාගෙන් සමාව ඉල්ලා සිටීම සමාගම් සේවකයෙකු දැන ගන්නම ඕනෑ දෙයක්. මේක පාරිභෝගික සේවා සැපයීම් පුහුණුවේදී (customer service training) අනිවාර්යයෙන්ම උගන්වන සිද්ධාන්තයක්. වැදගත් දේ කවුද හරි, කවුද වැරදි කියන එක නෙමෙයි. ඒක පස්සේ බේරගන්න පුලුවන්. 

ඉස්සෙල්ලාම කරන්න ඕනෑ ගණුදෙනුකාරයාගේ කෝපය නිවෙන විධියට, ආවේගය අඩුවෙන විධියට කතාකිරීම. ඒකයි සමාව ඉල්ලන්න ඕනෑ කියන්නේ. වැදගත් විධියට වැරැද්ද පිලිඅරගෙන සමාව ඉල්ලලා, ආයෙ මෙහෙම දේවල් නොවෙන බවට මැනේජර් විධියට වගකීම ගන්නවා කියලා කිව්ව නම් මේ වැඩේ හිට්ස් 100,000 පැණපු වීඩියෝවක් වෙන එක වලක්වා ගන්න තිබුණා. 

ඒ මදිවට ඕනේ නම් රීජනල් මැනේජර්ට කොම්ප්ලේන් කරන්න කියනවා. ඒකෙන් මේ මෝඩයා අහක යන රීජනල් මැනේජර්වත් මේකට ගාව ගන්නවා. එදා චිකන් බැදලා තියෙන්නේ මේ රෙස්ටොරන්ට් මැනේජර් යටතේ ඉන්න ගෝලයෙක් නෙමෙයි, රීජනල් මැනේජර් වෙන්න ඇති. 

Cargills-KFC සමාගම රෙස්ටොරන්ට් මැනේජර්ලා විධියට මෙවැනි ටයි දාගත් ගවයන් යෙදවීම වහාම නවත්වන්න ඕනෑ. මේ රෙස්ටොරන්ට් ගැන නිතර හොයලා බලන්න හොඳට පුහුණු වුනු, ප්‍රොෆෙෂනල් මැනේජර්ලා යොදවන්න. දෙකයි-පනහේ ගැටවුන්ට මේවා බාරදෙන්න එපා.

3] තුන්වන ගැටලුව - කස්ටමර් සර්විස් හරියට උගන්වා නැතිවීම
කස්ටර්මර් සර්විස් දියුණු කරනවා කියන්නේ වැඩමුළුවකට යවලා සහතිකයක් දෙන එක නෙමෙයි. උගන්නපු දේවල් හරියට ක්‍රියාත්මක වෙනවාදැයි සොයා බලන්නත් ඕනෑ. ඒ සඳහා McDonald's. Burgher King වගේ ජාල වෙනම දෙපාර්තමේන්තු ඇතිකරලා තියෙනවා. ඒ දෙපාර්තමේන්තු සේවකයින් ලෝකේ පුරාම තියෙන තමන්ගේ රෙස්ටොරන්ට් වලට ගිහිල්ලා, පාරිභෝගිකයෝ වගේ පෙනී සිටලා, ආහාරවල තත්වය, සේවාවේ තත්වය, පිරිසිදුකම  වගේ දේවල් බොහොම සියුම්ව විගණනය කරනවා. ඒ වාර්තා අසතුටුදායක නම් වහාම නිවැරදි කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. සේවකයින් නැවත පුහුණු කරනවා. මැනේජර්ලා මාරු කරනවා.

ඒවගේම වෙනම market research සමාගම් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා නිතරම තමන්ගේ රෙස්ටොරන්ට් ගැන ඇහ ගහගෙන ඉන්න. මිනිස්සු මොනවද කියන්නේ කියලා හොයන්න. මොනවද වෙන්නේ කියලා රහසින් සොයලා බලලා වාර්තා කරන්න.

කාගිල්ස් එකත් මේවගේ දේවල් කරනවා ඇති. හැබැයි නමට විතරයි වගේ තමයි පේන්නේ. ඒ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම ෆේල් කියලා දැන්වත් දැන ගන්න.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments