MEDIA : විනාඩියේ ඩාන්ස් එකෙන් රනිල් යලි හදාගත් ප්‍රතිරූපේ හා සිරසේ ෆේල්වීම




මාධ්‍ය; විශේෂයෙන්ම  රූපවාහිණී මාධ්‍ය හිතාගෙන ඉන්නවා එයාලට මිනිස්සුන්ගේ ප්‍රතිරූප මවන්න වගේම නැතිකරලා දාන්නත් පුලුවන් කියලා.

විශේෂයෙන් සිරසෙ ඉන්න අධිමාන්නෙන් පෙලෙන මැදිවියේ ගැටව්, කිලීගේ සල්ලි බලේ නිසා හිතාගෙන ඉන්නේ ශිව දෙවියෝ වගේ සියල්ල මවන්නෙත්, නැති කරන්නෙත් තමුන් කියලා.

ඒත් ප්‍රතිරූප මැවුම්කරණයේදී වගේම නාෂනයේදීත් සිරස හැමදෑම ෆේල්

සිරස මවපු අය බලමු. කෝ දැන් ඔය සිරස සුපර් ස්ටාර්ලා? එයලා තනිකරම සෙලියුලොයිඩ් මවා පෑම් . විතරයි. හරියට දියත උයනේ මල්පැල කඩවල්වල හෝමෝන් ගහලා, පෝර විදලා විකුණන මල් පැල වගේ. ගන්නකොට මල් පිපී හිනැහෙන ලස්සන පැල. ගෙදර ගෙනල්ලා හිටවල සති දෙකෙන් මල් හැලිලා, කොළ ඇකිලිලා මැරිලා යනවා. නැතිනම් මාස ගාණක් කනාටු වෙවී තියෙනවා ගලවලා වීසිකරනකන්.





සිරස මවපු සුපර්ස්ටාර්ලා බුරුත්තම දැන් මොකද කරන්නේ? දැන් සංගීතෙක සින්දුවක් කියාගෙන ඉන්නවා මිසක් කෝ එයාලගෙ සුපිරි තාරකා හේලෝව? ටික කාලෙකට හරි ඉස්සරහ ඇවිල්ලා හිටියේ  ශිහාන් විතරයි. ඒත් ඌ දිනපු එකා නෙමෙයි. පැරදුන එකා.

සිරස මවපු දේශපාලන ප්‍රතිරූපත් එහෙමමයි. මරික්කාර්ලා, කිඳෙල්පිටියලා, ශ්‍රී රංගලා තුන්වෙනි පෙල රොඩු මිසක් ජාතික නායකයෝ නෙමෙයි. කවදාක්වත් ජාතික නායකයන් වෙන්නත් බෑ.

කාලයක් ජේවීපී එකට උඩ පැන පැන ගැහුවා. ජේවීපී එකේ නායකයෝ බූරුවන්ට අන්දලා කොළඹ ලොකු ලොකු කට් අවුට් ගැහුවා. ජේවීපී එක තාම හොඳින් තියෙනවා.

කාලයක් සිරස රනිල්ව පිම්බුවා, 2005 ජනාධිපතිවරෙණෙදි සිරස සරම කරට අරගෙන රනිල්ට වැඩකරා. මහින්දට දිගට හරහට ගැහුවා. මහින්ද දිනුවා. රනිල් පැරදුනා, සිරසත් පැරදුනා. කොටි සිරස කියලා කටු ඔටුන්නකුත් දාගත්තා. ඊට පස්සේ රනිල්ව පන්නලා මහාරාජා පදයට නටන කෙනෙක්ව ලංකාවේ විශාලම, පැරණිම දේශපාලන පක්ෂෙ නායකයා කරන්න සිරස අවුරුදු ගාණක් දැඟලුවා. ඒත් රනිල්ව පන්නන්න බැරිවුනා. දිනන්න බැරියි කියලා සිරස කියපු රනිල් මහින්ද නැමති පතාක යෝධයාව පරද්දලා, තමුන් කැමති කෙනාව ජනාධිපති පුටුවේ ඉන්දලා අගමැතිවුනා.

දැන් සිරසෙ ට්‍රයි එක එහෙව් අගමැති හිරේ යවන්න, නැතිනම් ගෙදර යවන්න. බැඳුම්කර කොමිසමෙන් වැඩේ ටක්කෙටම වෙයි කියලා හිතාගෙන කේජුකෑල්ල දැකලා කෙළපෙරපු නරියා වගේ නටන්න ඕනෑ ඔක්කොම නැටුම් නැටුවා. ටයිකෝට් දාගෙන ඉන්ටර්විව් කරා. "වීශේෂඥයින්" ගෙනල්ලා ඇත්ත ඇති සැටියෙන්ම ජනතාවට පෙන්නනවා කිව්වා. ප්‍රධාන පුවත් විකාශ හැම එකක්ම රනිල්ට ගහන ෂෝ එකක් කරගත්තා. ඒත් අවසානේ මොකද වුනේ?

දැන් බලන්නේ රනිල්ගේ ඩාන්ස් එකට හිනාවෙලා හරි හෙලුව වහගන්න.




සිරස රූපවාහිණී විනාඩි දහස් ගණනක් වැයකරලා නැතිකරපු රනිල්ගේ ප්‍රතිරූපෙ මිනිහා අයිරාංගණී සේරසිංහ මැතිණිය එක්ක කොල්ලෙක් වගේ කොමික් ඩාන්ස් එකක් දාලා හදාගත්තා. ඒකට බණින, හිනාවෙන මිනිස්සුත් ඇති. එත් ඒ විනාඩියේදී රනිල් පෙන්නුවා එයත් අනිත් හැමෝම වගේ මනුස්සයෙක් කියලා. 

සිරසෙ පැයණන් බැනපුවට වඩා ඒක මිනිස්සුන්ගෙ හිතට වදිනවා. අඩුම ගානේ යු.එන්.පී කාරයෝ හරි බණින එක අඩුකරලා "මොනවා වුනත් ආතල් ඩාන්ස් එක බන්" කියනවා. සිරසෙ ප්ලෑන් ආයෙ ෆෙල් වෙනවා. තවත් ප්‍රයිම් ටයිම් නිව්ස් වෙලාව විනාඩි දාහක් දෙදහක් රනිල්ට  වැය කරලා බණින්න වෙයි රනිල් ආයෙත් ටිකක් වට්ටන්න.

කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ලංකාවේ මීඩියා කියන්නේ ජන මතය හදන, හරවන, වෙනස් කරන සාධකයක් නෙමෙයි කියන එක. සිරසලා, දෙරණලා කොච්චර නැටුවත් රටේ ජනමතය වෙනස් කරන්න බෑ. ආණ්ඩු හදන්නත් බෑ. පෙරලන්නත් බෑ. 

එහෙම වෙන්නේ රටේ වාසනාවට. එදා සිරස මහින්දට ගහපු හැටියට මහින්ද පැරදුනානම් අදත් ප්‍රභාකරන් මේ රටේ ජීවත්වෙන්නේ කවුද, මැරෙන්නේ කවුද, කවද්ද කියන එක කිලිනොච්චි කැලේ සැප බංකරේ ඉඳගෙන තීන්දු ගන්නවා. ප්‍රභාකරන් පුපුරවන හැම බෝම්බෙකම මැරිච්ච ගාණ සිරසෙන් විනාඩි පහෙන් පහට ලයිව් දෙනවා.

රනිල් ගෙදර යනවාද, මෛත්‍රී ගෙදර යනවාද කියලා තීරණය කරන්නේ මේ රටේ මිනිස්සු මිසක් සිරසේ කිලීගෙ සල්ලිවත්, හිරු එකේ රේනර්ගේ සල්ලිවත්, ඉච්ඡාභංගත්හ්වයෙන් පෙලෙන අද දෙරණෙ සෙට් එකවත් නෙමෙයි.

ලංකාවේ මාධ්‍ය කියන්නේ මිලක් තියෙන තවත් වෙළඳපොල සේවාවක් විතරයි. කැමති අය ගන්නවා. අකමැති අය වෙන දේවල් ගන්නවා. කාටවත් මොනෝපොලි නෑ. ඒක තේරුම්ගන්න තරමට එයාලාට හොඳයි. නැතිනම් සිහින ලෝකවල ජීවත් වෙවී තවත් චාටර් වෙනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments